comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
තරාදි, පඩි හා වෙනත් මිනුම් ඒකක නියමිත පරිදි මුද්‍රා කරගත යුතු බවත් එසේ සිදු නොකරමින් පාරිභෝගික ජනතාව මුලාකොට බඩු අඩු බරට කිරා මුදල් ගන්නා වෙළඳුන් කොටු කිරීම සඳහා මෙහෙයුම් සිදුකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා අදාළනිලධාරීන්ට උපදෙස් දී ඇත.ඒ අනුව පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කිරුම් ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින් බර අඩු පාන් අලෙවි කළ හා මුද්‍රා රහිතව කිරුම් මිණුම් උපකරණ ළඟ තබාගෙන අසුවූ ඉමදූව, අහංගම හා අවට ප්‍රදේශවල වෙළඳසල් වටලා වරද පිළිගත් පුද්ගලයන් දස දෙනකුට එක් අයකුට රුපියල් 3000 බැගින් රු.30000ක දඩ මුදලක් ගෙවන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එස්.කලංසූරිය මහතා නියෝග කළේය.
NEWS
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ යල්කන්නයේ වී අස්වනු රැස්කිරීම මේ දිනවල සිදුකෙරේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් වර්ෂවලට වඩා මෙවර වැඩි බිම්ප්‍රමාණයක වී වගාකර තිබේ. එයින් දෙකක සුළුප්‍රමාණයක් පමණක් නියඟයෙන් විනාශවිය. අක්කර හතළිස් දහසක් පමණ ප්‍රමාණයක මෙවර යල් කන්නයේදී වී වගාකර ඇති අතර අක්කරයක වී වගාවකින් වී බුසල් 100ක පමණ අස්වැන්නක් ලැබී ඇත.පසුගිය වසර 10ක කාලපරිච්ඡේදයක් ඇතුළත මෙවැනි වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇත්තේ මේ යල්කන්නයේ දීය. තම වී අස්වැන්න සාධාරණ සහ කඩිනමින් අලෙවි කර ගැනීමට තවම විධිමත් වැඩපිළිවෙළක් ගොඩනැගී නැති බැවින් ඒ සඳහා අදාළ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු යැයි ගොවීහු කියති..
NEWS
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි.ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට පැවති සියයට 6.7ක්ව පැවැති වාර්ෂික සාමාන්‍ය උද්ධමනයද මේ වසරේ ජනවාරි මාසය වනවිට සියයට 6.5 දක්වා පහත වැටී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.ඊට අමතරව සියයට 6.7ක අගයක් වාර්තා කළ ලක්ෂ්‍යමය මූලික උද්ධමනය සියයට 4.7 දක්වාද පහත වැටී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ මිල ගණන්හි සියයට 0.3ක පහළ යාමක් සිදුවී තිබෙන බවත් ආහාර උප කාණ්ඩයේ ඇතුළත් ඇතැම් එළවළු වර්ග, අර්තාපල්, ලොකු ළුණු, දෙහි, අමුමිරිස්, වියලි මිරිස් හා සීනි ආදියෙහි මිල ගණන් සැපයුමෙහි සිදුවූ වර්ධනය හේතුවෙන් පහළ වැටුණු බවත්ය..
NEWS
ජල ගැලීම්වලින් හානියට පත් ත්‍රිකුණාමලයේ ප්‍රධාන වැව් හය – අමුණු දෙක හා ගංවතුර ආරක්‍ෂණ වේලි ලබන කන්නය ආරම්භ වීමට පෙර ප්‍රතිසංස්කරණය කරන බව ත්‍රිකුණාමල කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එච්. එම්. ජුනයිඩ් මහතා පැවැසීය.දැනට දල වශයෙන් සිදු කළ ඇස්තමේන්තුව අනුව මේවා පිළිසකර කිරීමට රුපියල් දසලක්‍ෂ 3500 ක වියදමක් දැරීමට සිදුවී ඇතැයි කී වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ජලය බැස ගිය පසු හානියේ ස්වභාවයක් දෙස බැලීමේ දී හානිය මීට වඩා වැඩිවිය හැකි බව කීහ.ලබන කන්නයට පෙර මෙම ප්‍රතිසංස්කරණ නිම කිරීමට නොහැකි වූවත් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා දීමට හැකිවන අයුරින් ඉලක්ක කර මෙම ප්‍රතිසංස්කරණ සිදු කරනු ලැබේ.මෙවර ගංවතුරින් වැව්වල බැමි කැඩී හා පුපුරා යෑම්, වැඩි වතුර පිට කිරීම සඳහා කැඩූ පිටවාන් දොරටු අලුත්වැඩියා කළ යුතුවේ. මීට අමතරව කෙන් ඇල, බෙදුම් ඇල මාර්ග හා ඉවුර රැසක් මෙවර ගංවතුරින් විනාශ වී තිබේ. කන්තලේ, වෙන්ඩ්‍රසන්, මොරවැව, මහදිවුල්වැව, වාන් ඇල, පේරමඩු යන වැව් මෙන්ම මාවිල්ආරු, යාං ඔය අමුණු මෙසේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.  .
NEWS
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පිදුම් ලැබුවේය.ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට ඒ මහතා තෝරා පත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් හිමි වී ඇත.ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී 2014 ලෝක සෞඛ්‍ය සම්මේලනය ඊයේ (19) ආරම්භ කෙරුණු අතර එහිදී ඒ මහතා මේ ධුරයෙන් පිදුම් ලැබුවේය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාග්‍රට් චෑන් මහත්මියගේ ‍ප්‍ර‍ධානත්වයෙන් මේ සම්මේලනය ආරම්භ කෙරිණි..
NEWS
ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසය වසර 72 කට පසුව අලුතින් ලියූ මංජු වන්නිආරච්චි වේල්සයේ ෂෝන් මැක්ගෝල්ඩ්‍රික් පරදවා බැන්ටම් වේට් රන් කිරුළ දිනා ගත්තේය.ඉන්දියාවේ නවදිල්ලි නුවර තල්කතෝරා ක්‍රීඩාංගණයේදී ඊයේ තරගය නිමා වීමත් සමඟම ජනාධිපති මහින්ද රාජපක්‍ක්‍ෂ මහතා දුරකතනයෙන් මංජු වන්නිආරච්චි අමතා උණුසුම් සුබ පැතුම් පිරිනැමුවේය. ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාගේ දුරකතනය මඟින් ජනාධිපතිතුමා සමග කතා කළ මංජු වන්නිආරච්චි අනතුරුව පැවසුවේ “ ජනාධිපති තුමා ක්‍රීඩාවට දක්වන ආදරය පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවයි” .මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලද මංජු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බර පංතියේ අවසන් තරගයේ දී වේල්ස්හි ෂෝන් මැක්ගෝල්ඩ්ට තියුණු අභියෝගයක් එල්ල කරමින් රන් පදක්කම දිනා ගනු ලැබීය..
NEWS
අමු ඉඟුරු සහ අමු කහ වගාකිරීමට කුරුණෑගල ගොවීහු පෙළ ඹී සිටිති.විශාල පොල් ඉඩම්වල සහ ග්‍රාමීය පෙදෙස්වල කුඩා ගෙවතුවල යටි වගාවක් ලෙස ඔව්හු ඉඟුරු සහ අමු කහ වගා කරති.ජලය මද වශයෙන් පවතින ඉඩම්වල මේ වගාවන් සාර්ථකව කළ හැකි ය.මේ දිනවල අමු ඉඟුරු සහ කහවලට විවෘත වෙළෙඳ පොළෙහි හොඳ ඉල්ලුමක් ද පවතී.වගාකරුවන්ට හොඳ ආදායමක් ලබාගැනීමට හැකිවීමත්, පොල් ඉඩම් සරු වී පොල් ඵලදාව ඉහළ යෑමත් මෙහි වගාවන් නිසා සිදුවෙන බව ගොවීහු පෙන්වා දෙති.එසේම වියදමද ඉතා අඩු ය. ඉඟුරු සහ කහ වගාව සඳහා යොදනු ලබන්නේ කාබනික පොහොර සහ පිදුරු පමණි.රසායනික පොහොර භාවිතා කිරීමට අවශ්‍යතාවයක් ද නැත. මේ නිසා විශාල ආදායමක් ලබා ගැනීමට හැකි බව වගාකරුවෝ පවසති.මේ වන විට ඉඟුරු කිලෝවක මිල රුපියල් 350 – 400ක් වන අතර කහ කිලෝවක මිල ද එම ගණන්වලම පවතී.කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද, හිරිගල, මාවතගම රිදීගම, පොතුහැර, ගනේවත්තේ, කුඹුක්ගැටේ, වැල්ලව යන ප්‍රදේශ මේ වගාවන් බහුල වශයෙන් දක්නට තිබේ.අක්කරයක කහ හෝ ඉඟුරු වගාකිරීමෙන් රුපියල් ලක්ෂ 1 1 / 2 ක 2ක් ආදායමක් ලබාගත හැකි බව ගොවීහු කියති..
NEWS
රජයේ බදු සහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ජනතාව හා මෝටර් රථ අලෙවි සමාගම් නියෝජිතයන් දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් ඉදිරියේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි බදු සහන ලබා දී තිබෙන අතර දේශීය ආදායම් පනත යටතේ බදු නිදහස් කිරීමේ ප්‍රතිපත්ති මාලාවට අනුව රජය මගින් බදු සහන ලබා දී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කේ. එම්. එස්. කන්දේගෙදර මහතා “දිනමිණ” ට පැවැසීය.බදු සහන ලබාදීම මගින් රජය අපේක්‍ෂා කරන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම හා ඇතැම් ආයතන ආරක්‍ෂා කිරීම බව පෙන්වා දුන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව ක්‍රමවේදය හේතුවෙන් රටේ ජනතාවට ද සහන රැසක් හිමිවන බව අවධාරණය කෙළේය.මෝටර් රථ ආනයනයේදී අය කරන බද්ද සියයට 50 කින් අඩු කිරීමට රජය පියවර ගැනීමත් සමඟ නව වාහනවල මිල සියයට 25 කින් පමණ පහත වැටෙන අතර ඊට අමතරව ආනයන අධිභාරය ද සියයට 15 කින් පහත හෙළීමට පියවර ගෙන ඇතැයි කීවේය.මේ අතර මහේන්ද්‍රා සමාගමේ සියලුම වාහන අඩු වූ තීරු බදු සහිත මිල ගණන්වලට ලබා දීමට සූදානම් බව එහි සභාපති නලීන් වෙල්ගම මහතා “දිනමිණ” ට ඊයේ (03) පැවැසීය. මහේන්ද්‍රා සමාගම මේ තීරු බදු අඩුකිරීම නිසා නවතම ජීප් රථ සහ ඩබල් කැබ් රථ ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ද හෙතෙම සඳහන් කෙළේය.මහේන්ද්‍රා සමාගම සතුව තිබෙන සැහැල්ලු වාහන මිල ගණන් වැඩි වෙනසක් නොවන බව පවසන නලීන් වෙල්ගම මහතා ඉදිරි මාසය ඇතුළත නවතම වාහන ගෙන්වීමට ඇණවුම් කටයුතු කරන බව ද කීවේය.අඩු කළ තීරු බදු මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට වාහන ලබා දීමට කටයුතු කරන බව ඒ. එම්. ඩබ්ලිව්. ඒර්එ සමාගමේ සේවා ඉංජිනේරු ඉන්ද්‍රජිත් බණ්ඩාර මහතා ද “දිනමිණ” ට ඊයේ (03) පැවැසීය.ඒ. එම්. ඩබ්ලිව්. සමාගම ගෙන්වා තිබූ වාහන තොගය දැනටමත් අවසන් වී තිබෙන නිසා දැනට තීරු බදු අඩුවීමත් සමග පාරිභෝගිකයාට වාහන ලබාදීමේදී විකුණුම් මිල තීරණය කිරීමට ආයතනය සාකච්ඡා කරන බවද හෙතෙම කීවේය.
NEWS
මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසය වැටලීම සම්බන්ධ සිද්ධියේ යම් අතපසු වීමක් වී ඇති නම් වහාම එය නිවැරැදි කරන්නට පියවර ගන්නා බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹක්වැල්ල මහතා පැවසීය.හැකි ඉක්මණින් එය නිවැරැදි කළ යුතුය යන්න රජයේ ස්ථාවරය බවත් ඒ පිළිබඳව කාදිනල්තුමාට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (8) සඳහන් කළේය.මෙය අතිශය සංවේදී කාරණයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා අදාළ විෂයය භාර ඇමැතිවරයා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සමාව අයැද සිටීමෙන්ම රජයේ ස්ථාවරය පැහැදිලි බව සඳහන් කළේය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා පවසා සිටියේ මෙය අධිකරණය හමුවේ විභාග වන්නක් බැවින් වැඩිදුර අදහස් දැක්වීම නොසුදුසු බවයි..
NEWS
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වියහැකි ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ඉන්දියාව තීරණය කරයි.තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් බලධාරීන් විසින් මේ කමිටුව පත්කර ඇති බව වාර්තා වෙයි. වෙරළ ආරක්ෂක බළකායට අනුබද්ධව මේ කමිටුව පත්කර ඇති අතර කියුබ්‍රාන්ච් පොලීසිය ඉන්දීය විශේෂ කාර්යාංශය, බුද්ධි අංශය, වෙරළ පොලීසිය, නාවික කොට්ඨාසය, ධීවර අමාත්‍යාංශ නිලධාරීන් ද ඊට ඇතුළත් වෙයි.අදාළ කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ දි පවත්වා ඇති අතර එහිදි මේ කමිටුවේ සිදුකෙරෙන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.ඒ අනුව ඉදිරියේ දී රාමේෂ්වරම් ප්‍රදේශයේ දී විශේෂ පොලිස් මුරපොළවල් ආරම්භ කිරීමට නියමිත අතර එම නිලධාරීන්ට දුරදක්න, ගිනි අවි සහ අනෙකුත් උපකරණ ලබාදීමට තීරණය වී ඇති බවද එම වාර්තා පවසයි.පාලම් ප්‍රදේශයේ සිට ධනුෂ්කොඩි ප්‍රදේශය දක්වා මේ පොලිස් මුරපළවල් ස්ථාපිත කිරීමට නියමිත අතර පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවු සිදුවීම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බව රාමේෂ්වරම් පොලිස් අධිකාරී එන්.එම්.මයිල්වාහනන් මහතා ප්‍රකාශ කර තිබේ.
NEWS
උණහපුළුවාට උගේ පැටියා මැණිකකි. මවකට දසමසක් කුසේ තියාගෙන, උපන්දාසිට තම ලේ කිරිකර පොවා හදාගත් තම දරුවා සුරූපී වුවද, විරූපී වුවද, ආබාධිත වුවද මවට මැණිකක් බඳුය.තම දරුවා වෙනුවෙන් මුළු ජීවිතයේම ඕනෑම වද වේදනාවක් විඳීමට ඇය සූදානම්ය. ඉකුත් දිනෙක මහරගම පතිරගොඩ නාලන්දාරාම විහාරයේ පැවැති ආරෝග්‍යා ආබාධිතයන් සඳහා වන පදනම ක්‍රියාත්මක කළ ආබාධිතයන්ට වෛද්‍ය උපකරණ බෙදාදීමේදී මේ මව සහ දරුවාද පැමිණ සිටියහ.මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර පදිංචි චන්ද්‍රානි දිසානායක මහත්මියට ආබාධිත පුතෙක් ලැබුණි. කතාකරන වයසේදී පුතා කතා කළේ නැත. සෙමෙන් මනස වැඩෙන දරුවෙක් බවට හේ පත්විය. දරුවාට අවුරුදු එක හමාරක් වනවිට සැමියා දරුවාත් බිරියත් තනිකර යන්නට ගියේය. ඇයට කිසිදු හව්හරනක් නොවීය. ජීවත්වීම ගැටලුවක් විය. දරුවා ආබාධිත හෙයින් රැකියාවකට ගෙදරින් පිටවීම අසීරු විය. එමනිසා මහරගම ප්‍රදේශයේ නිවෙසක නැවැතී ඒ ගේ හිමි කාන්තාවට ඇඳුම් මැසීමේ කටයුත්තට උදව්වූවාය. බොහෝ අවස්ථාවල සිඟිති දරුවා උකුලේ හොවාගෙන, නිදිකරවා මහ රෑ වනතුරු ඈ ඇඳුම් මැසීම කළාය. දරුවා වැඩෙත්ම එයද කළ නොහැකි විය.ඇයට ඇයගේ කටයුතු කර ගැනීමට හැකිවනසේ ආරෝග්‍යා පදනමේ අධ්‍යක්‍ෂ උනපානේ අරියධම්ම හිමියන්ට කරන ලද ආයාචනයකට අනුව දරුවාට සුවසේ වාඩිවී සිටීමට හැකි විශේෂ පුටුවක් ලැබුණි.දරුවා පුටුවේ වැඩිකරවා කෑම බීම පුටුවටම සූදානම් කර තබා ඇඳුම් මැසීම ඈ කරගෙන ගියාය. දරුවා වැඩෙත්ම තෑගි ලැබූ පුටුව ඔහුට ප්‍රමාණවත් නොවීය. ගඟෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් මෙන් ඇඳුම් මැසීම කළ නිවසේ හිමිකාරිය ඇයට වැටුප් ගෙවීම නවතාලීය. අන්තයටම අසරණ වූ චන්ද්‍රපානි මහරගමට ආයිබෝවන් කියා අසරණ දරුවාද රැගෙන ඇගේ උපන් ගම වූ බඩල්කුඹුරට ගියාය.දැන් දරුවාගේ වයස අවුරුදු 6කි. ඔහුට ඇවිදීමට, කතා කිරීමට නොහැකිය. යන තැනෙකට දරුවා රැගෙන යායුතුය.දෙවැනි වරටද ආරෝග්‍යා පදනමට සිංගප්පූරුවෙන් ලැබුණ විශේෂිත ළමා පුටුවක් ඉකුත්දා පරිත්‍යාග කෙරිණ. දරුවා පුටුවේ හිඳවා බඳ පටි වෙලූ පසු ඔහු තමන්ගේ පාඩුවේ සිටී. දරුවා පුටුවේ වාඩිවී සිටීම නිසා ඇයට පුරුදු මැහුම් රැකියාව කරගත හැකිය. එහෙත් ඇයට රෙදි මහන මැෂිමක්වත් නැත. රෙදි මසා දරුවා ජීවත් කරගැනීමට ඇයට රෙදි මහන මැෂිමක් ලබාදිය හැකි පින්වතෙක්, දානපතියෙක් වෙතොත් ඇයට මැෂිමක් ලබාදී ඇගේත් අසරණ ආබාධිත දරුවාගේත් ජීවිත රැක ගැනීමට මහෝපකාරී විය හැකිය..
NEWS
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (20) විදී සංචාරය කරන අතර එය නැරඹීම සඳහා ජපන් හා තායිලන්ත රජ කුමරියන් පැමිණීමට නියමිතය.නැගෙනහිර දිශාභිමුඛව රාත්‍රී 7.51ට දළදා මාලිගාව අභියසින් පිටත්වන පෙරහැර දළදා විදීය, යටිනුවර විදීය, කන්දේ විදීය, ඩී. එස්. සේනානායක විදීය, ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවදීමෙන් පසු සිව්මහ දේවාල පෙරහර පසුදින අලුයම ගැටඹේ දියකපනාතොට වෙත ගොස් දියකැපුම් මංගල්‍යය සිදුකර දහවල් පෙරහර පවත්වයි..
NEWS
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව සහ කැනඩාව සහභාගි නොවීම මුළුමණින්ම වැරැදි සහගත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත අගමැතිවරු අවධාරණය කරති.මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු පවතින බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ සමුළුවට සහභාගිවීම ඉන්දියාව සහ කැනඩාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන බව ද එය අනුමත කළහැකි දෙයක් නොවන බව ද ඔස්ට්‍රේලියාවනු අගමැති ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කරයි.මේ අතර අගමැතිවරයා පෙන්වා දුන්නේ සෙසු රටවලට මානව හිමිකම් සම්බන්ධයෙන් දේශන පැවැත්විය යුතු නැති බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව වර්ජනය කරන ලෝක නායකයන් සමඟ එකතුවීමට තමාගේ අදහසක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ඇතුළු තවත් නායකයන් අභ්‍යන්තර වශයෙන් එල්ලවන දේශපාලන බලපෑම් නොතකා එයින් පළායාම වෙනුවට සහභාගීවීම වඩා සුදුසු බව තීරණය කර තිබෙන බව ද තමන් දන්නා පරිදි ද්‍රවිඩ ප්‍රදේශවලට සාමාන්‍ය සිවිල් පාලනය එමින් සිටින බව ද සඳහන්කර තිබෙන ටෝනි ඇබට් මහතා සියලු ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරුකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින නමුත් මේවන විට ශ්‍රී ලංකා රජය විසින් ඒ සඳහා සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකර ඇති බව ද ප්‍රකාශකර තිබේ.ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටු මඟින් සංක්‍රමණය වන පිරිස් නැවත කැඳවා ගැනීම ආදී ගැටලුවලදී දෙරට හොඳ සම්බන්ධතාවකින් කටයුතු කරන බව ද හෙතෙම පෙන්වා දී ඇත.මේ අතර නවසීලන්ත අගමැති ජෝන් කී මහතා ප්‍රකාශකර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීම සඳහා ඉන්දීය අගමැතිවරයා ගනු ලැබූ තීරණය වැරදි බවත් ඔහු එම තීරණය ගනු ලැබුවේ එරට දේශපාලන කණ්ඩායම්වලින් එල්ලවන බලපෑම් හේතුකරගෙන බවත්ය.මේ අතර පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන්කර ඇත්තේ තමන් සහ විදේශ ඇමැති මරේ මැකලි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වන බවයි. ඊට අමතරව තම නියෝජිතයන් උතුරේ සංචාරය කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ..
NEWS
අතීතයේ අපේ මුතුන් මිත්තන් ද මෑත ඉතිහාසයේ දී නිදහස් සටනේ නායකයන් ද පිළිබිඹු කළ පරිදිම අප සියලු දෙනා ජාති ආගම් හෝ දේශපාලන හෝ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංවර්ධනයේ ඵල හා අයිතිවාසිකම් සම ලෙස භුක්තිවිඳීය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා කැපව සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.හැට දෙවැනි නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් එසේ සඳහන් කරන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම නිදහස් දිනය නිසා මේ නිදහස් සංවත්සරය සුවිශේෂ වන බව කියා සිටී.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ නිදහස් දින පණිවිඩය මෙසේ ය.අද අප සමරන 62 වැනි නිදහස් සංවත්සරය සුවිශේෂී වන්නේ පසුගිය වසරේ දී ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුවත් අප ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය යළි තහවුරු කිරීමෙන් පසුවත් පැවැත්වෙන ප්‍රථම නිදහස් දිනය බැවිනි. යටත්විජිතවාදී පාලනයෙන් හැට දෙවසරකට ඉහතදී ලත් ස්වාධීනත්වය අද වඩාත් අර්ථාන්විත වී ඇත්තේ අප ස්වාධීනත්ව කාල සීමාවෙන් අඩක් තුළ රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවයට දරුණු අභියෝගයක් වූ ත්‍රස්තවාදයෙන් දැන් නිදහස ලබා ඇති බැවිනි.නිදහස් සටනේ දී මහඟු කැපවීම් කළ දේශප්‍රේමීන්ට අපගේ ප්‍රණාමය පළ කරන පමණටම ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගැනීමට සහ ත්‍රස්තවාදය දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට උත්සාහ කළ දේශීය සහ විදේශීය බලවේග පරාජය කිරීමට දැඩි පරිත්‍යාගයක් කළ අපගේ වීරෝදාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම විවිධ කැපවීම් කරමින් සටනට දිරිදුන් සියලුම ජනතාවට අපගේ ගෞරව ප්‍රණාමය පුදකළ යුතුය.ත්‍රස්තවාදය පරාජය කර නිදහස රැකගැනීම සඳහා වූ අපගේ ව්‍යායාමයේ නියම අරුත වටහාගෙන අපට සහාය සහ සුහදතාව දැක්වූ සියලුම මිත්‍ර ජාතීන්ට අපි කෘතඥ වන්නෙමු. සාමයේ නව යුගයකට පිවිසෙන අපි අනාගත අභියෝගවලට මුහුණ දීමට සූදානම් වන්නෙමු.ජාතීන් අතර සන්හිඳියාව සහ විශ්වාසය ගොඩනැඟීමට මෙන්ම ලෝක ජාතීන් අතර අපට හිමිවිය යුතු සාධාරණ ස්ථානය ලබාගැනීම උදෙසා රට සංවර්ධනය කිරීමට ද සම ප්‍රමුඛත්වයක් චක්විය යුතුය . ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම අප දියත් කළ සහ නිම කළ යටිතල පහසුකම් නන්වාලීමේ යෝජනා ක්‍රමයන් හි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. අතීතයේ අපේ මුතුන් මිත්තන් ද මෑත ඉතිහාසයේ දී නිදහස් සටනේ නායකයන්ද පිළිබිඹු කළ පරිදිම අප සියලු දෙනා ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංවර්ධනයේ ඵල සහ අයිතිවාසිකම් සම ලෙස භුක්ති විඳීය හැකි ඒකීය ශශ්‍රී ලංකාවක් සඳහා කැපව සිටින්නෙමු.අපට ආවේණික සංස්කෘතියේ ස්ථාවර අංගයක් වූ මනුෂ්‍යත්වයට ප්‍රමුඛස්ථානය අත්වන දේශයක් ලෙස ද අප කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ද ප්‍රගතියේ ප්‍රදීපස්තම්භයක් ලෙස ද, නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීීීමට දැඩි විශ්වාසයකින් යුතුව ක්‍රියා කිරීම සඳහා ජනතාවගෙන් සවිමත් වරමක් ලැබී ඇත.මෙම නිදහස සමරන ඓතිහාසික මොහොතේ දී සාමය, ඉවසීම, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සමෘද්ධිය සඳහාත් ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ලෙස අප ජනතාව අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උදෙසාත් යළි කැපවෙමු.ඔබට සුබ අනාගතයක්ඔබ සැමට තෙරුවන් සරණයි
NEWS
පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ ගම්මාන රැසකට කඩා වැදුණු වල් අලි රංචුවක් නිවාස 13 ක් කඩා බිඳ දමා විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියතිමාදුරුඔය වස්ගොමුව රක්ෂිත වන උද්‍යානවල සිටින වල් අලින් මෙසේ ගම්මාන වලට කඩා වැදීම නිසා නිවාස පමණක් නොව වගාවන්ද විනාශ කර දමා තිබේ. මහවැලි බී කලාපයේ අලි වැට අක්‍රීය වීම නිසා මේ තත්ත්වය උදාවී තිබේ.
NEWS
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සියයට 36කින් ඉහළ ගොස් තිබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එවැනි අගයකින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම වර්ධනය වී ඇති අතර සංඛ්‍යාත්මකව එම අගය 55898 ක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙයි.හෙතෙම මේ බව කියා සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකදී ය.ආරක්ෂක හේතූන් මත ගමන් කිරීමට නොහැකි වූ නැඟෙනහිර පළාතේ නොඉඳුල් සංචාරක කලාප විධිමත් ලෙස සංවර්ධනය ආරම්භ කර තිබෙන බවත් පාසිකුඩා, කුච්චවේලි හා කල්පිටිය සංචාරක කලාප ලෙස නම් කර ඒවා සංවර්ධනය කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ ය.තවද කාමර 1000කින් සමන්විත හෝටල් 13ක් පාසිකුඩා ප්‍රදේශයේ ඉදිකෙරෙමින් තිබෙන අතර ලබන 2012 වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වෙතැයිද ඒ මහතා විශ්වාසය පළ කෙළේ ය. මීට අමතරව කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 500ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය කෙරෙන බවද කීය.කල්පිටිය ප්‍රදේශයේ පිහිටි දූපත් 14ක් යොදාගෙන සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන අතර ඉන් දූපත් දෙකක් සංචාරක කටයුතු සඳහා පෞද්ගලික අංශයට බදු දී තිබෙන බවත් එක් දූපතකට හෝටල් කාමර 150ත් 200ත් අතර ප්‍රමාණයක් වන ලෙස දූපත් සියල්ලේම හෝටල් කාමර 4000ක් පමණ ඉදි කිරීමට නියමිත බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ය..
NEWS
ගෞතම් ගම්භීර්ගේ විශිෂ්ට පිතිහරඹයත්, නායක මහේන්ද්‍ර සං දෝනිගේ සටන්කාමී ඉනිමක් හේතුවෙන් කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ ඇඩිලේඩ් නුවර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.පළමුව පන්දුවට පහර දී ඔස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 270 ක ඉලක්කය හඹා ගිය ඉන්දීය පිල 50 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ජය වාර්තා කළේය.විශිෂ්ට ඉනිමක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 44 ක් රැස් කිරීමට සමත් විය. ඉන්දීය ඉනිම ගොඩනැගූ ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර් ලකුණු 92 ක් ලබා ගත්තේය. පන්දු 111 කට මුහුණ දුන් ගම්භීර් හතරේ පහර 7 ක් එල්ල කළේය. සුරේෂ් රයිනා රැස්කළ ලකුණු සංඛ්‍යාව 38 කි.පන්දු යැවීමේදී ක්ලින්ට් මැකේ කඩුලු 3 ක්ද, ෂේවියර් ඩොහර්ති කඩුලු 2 ක්ද දවාලූහ.තරගයේ වීරයා සම්මානය ගම්භීර්ට හිමි විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ පිතිකරු යුගලය වූයේ නවක පිතිකරු පීටර් ෆොරෙස්ට් සහ ඩේවිඩ් හසීය.ඊයේ සිය මංගල ඉනිම ක්‍රීඩා කළ ෆොරස්ට් අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණ රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 කි. ඔහු හසී සමඟ එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 98 ක අනඟි සම්බන්ධතාවක් ද ගොඩනැඟීමට සමත් විය. ෆොරස්ට්ගේ අලංකාර ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. මැද පෙළ පිතිකරු ඩේවිඩ් හසී ඊයේ කලකට පසුව විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර පන්දු 76 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමඟ ලකුණු 72 ක් ලබා ගැනීමට සමත් විය.ඊට පෙර නායක මයිකල් ක්ලාක් ලකුණු 38 කට දැවී ගියේය. ෆෝරස්ට්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ඩැනියෙල් ක්‍රිස්ටියන් දුවද්දී දැවී යාමට හසුවන විට ලකුණු 39 ක් ලබා සිටියේය. හසී හා ක්‍රිස්ටියන් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැඟිණි. පන්දු යැවීමේදී විනේ කුමාර් සහ උමේෂ් යාදෙව් කඩුලු 2 බැගින් දවාලූහ.ඕස්ට්‍රේලියාව 269/8 (ඕවර 50)ඩේවිඩ් හසී 72, පීටර් ෆොරස්ට් 66, ඩැනියෙල් ක්‍රිස්ටියන් 39, මයිකල් ක්ලාක් 38 (උමේෂ් යාදෙව් 49/2, විනේ කුමාර් 58/2)ඉන්දියාව - 270/6 (ඕවර 49.4)ගෞතම් ගම්භීර් 92, මහේන්ද්‍ර සිං දෝනි නොදැවි 44, සුරේෂ් රයිනා 38 (ක්ලින්ට් මැකේ 53/3, ෂේවියර් ඩොහර්ති 51/2).
NEWS
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් පැලවත්ත රබර් සංවර්ධන නිලධාරී කාර්යාලය සහ නිල නිවාසය දැනට වසර පහකට අධික කාලයක සිට දිරාපත් වීමට ඉඩ හැරීම නිසා මේ වන විට එම ගොඩනැගිල්ල ඉතා අබලන් තත්ත්වයට පත්වී ඇත.මේ පිළිබඳ ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ල පළ කර සිටී.මේ තත්ත්වය නිසා පැලවත්ත රබර් සංවර්ධන නිලධාරීවරයාටද ස්ථිර කාර්යාලයක් දැනට නැත.අතැර දමා ඇති මෙම ගොඩනැගිලි සහිත බිමේ අනවසරයෙන් බොහෝ පිරිස් වගා කර ඇති බවද ජනතාව දන්වා සිටී.මෙම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් සඳහා ස්ථිරව පවත්වාගෙන යන ග්‍රාම ලේකම් කාර්යාලයක් නොමැත. ඔවුන් ද කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ පෞද්ගලික නිවාස වලය.මෙම බිමෙහි ඇති ගොඩනැගිලි එම කාර්යාල පවත්වාගෙන යාමට හෝ වෙනත් කටයුත්තකට යොදා ගන්නැයි ජනතාව නිරතුරුව ඉල්ලා සිටිති..
NEWS
ගෑනු බොහොම අමුතු සත්ව කොට්ඨාසයක්. අවුරුදු පනහක හැටක ජීවිත කාලෙ ඇතුළත කවදාවත් අපට උන්ව අඳුන ගන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. කවදාවත්ම නෑ. අනික් කාරණාව උන් අපට වඩා සපුරාම වෙනස්. ගෑනියෙක් සතුටු වෙන කාරණා තේරුම් ගන්න අමාරුයි. දුක් වෙන කාරණත් එහෙමමයි. එහා ගෙදර ගෑනිට තරම්ම තමන්ටත් ඉවිලි පිහිවිලි සහ දෑතෙ වැඩ පුළුවන් වීම ගැනියෙක්ට සෑහෙන කාලයක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. එහා ගෙදර ගෑනි ඇඳුමෙ පාටටම වූල් බෑන්ඩ් එකක් දාගෙන ඉද්දි තමන්ට නිකන්ම කොන්ඩෙ ගෙඩියක් ගහගෙන ඉන්ට වීම ගෑනියෙක්ට හත් අවුරුද්දක් විස්සෝප වෙන්න කාරණාවක් වෙනවා. සමහර ගෑනු ජීවිතෙන් හතරෙන් තුනක්ම දැලි කුණු අස්සෙ ගෙවාදාන්ට වීම ගැන මැරෙනකල් ම දුක් වෙනවා. අනිවාර්යෙන් මං දන්නවා ඒ අවස්ථාව නොලැබුණානං උං ඒකටත් දුක් වෙනවා.එහෙව් ගෑනියෙක් දරු දෙන්නෙකුත් එක්ක මයෙ කරේ එල්ලන්න අපෙ අම්ම වලි කන්නෙ අහිතකට නොවෙන බවත් මම දන්නවා. ඒත්??නින්ද. අපි වගේ මිනිස්සුන්ට දෙයියෝ දුන්න එකම සැනසිල්ල කියලයි කතාවට කියන්නෙ. ඒත් හැමදාම නිදාගෙන ,සදාකාලික නින්දට ගිහින් ,ධර්මෙ හැටියට වැඩ සිද්ධ වෙනවා නං එතනින් එහාටත් අපි කරන්නෙ නිදා ගැනිල්ල සහ අවදි වීම ම නෙ. කොහෙද එතන සැනසිල්ලක්? නිදාගන්නෙ හෙට මොනවා වෙයිද බයෙන් නං , අවදිවෙන්නෙ අද මොන තරම් හිස් දවසක්ද කියන කලකිරීමෙන් නං?මම හැමදාම වගෙ ඇඳට යන්නෙ දහයට. ස්වදේශීය සේවෙ ආරාධනා ස්වර දැහැන ගැන මට මුලින්ම කිව්වෙ ශ්‍රීමතී . එදා ඉඳන් මම නොවරදවා ඒ ටික අහන්නෙ හිත නිවා ගන්න පුලුවන් වෙන යමක් මේ බදනාගලින් මෙපිට නැති හින්දම නෙවෙයි. මටත් නොතේරෙන මොකක්දෝ සැනසීමක් ඒ කීකරුකම ඇතුළෙ තියෙනවා වගෙ දැනෙන නිසා.ඒ සින්දු ඇතුළෙන් මට කැම්ප් එක අයිනෙන් ශ්‍රීමතී වතුර ගේන්න වංගුවෙ වගා ළිඳට ගිය හැටි මැවිලා පේනවා. දහයයි කාලෙ බස් එකෙන් මම ගෙදර එන දවසට ලාම්පුවත් අල්ලගෙන වැට ළඟට ඇවිත් අත වනපු හැටි මතක් වෙනවා. උප්පුවේලි පොලීසියෙ වැඩ කරපු ශ්‍රීමතීගෙ අයියා අපෙ සම්බන්දෙ දැනගෙන වරා දන්ඩක් කැඩෙනකල් ගහපු දවසෙ ශ්‍රීමතී මාව හොයාගෙන ආව හැටි මතක් වෙනවා. එදා දෙකින් එකක් උනා නම් මෙලාකට අපිට ඉස්කෝලෙ යන වයසෙ පොඩි එවුන් දෙන්නෙක්වත් ඉන්නවා.තැම්බිලා තියෙන දෙයක් ගිල දාලා මං ඇඳට වැටෙන්නෙ නවේ හමාරට විතර වුණත් පැයක් හමාරක් ඇතුළත නින්දට ගිය කාලයක් මතකෙ නෑ. සමහරක් දාට කපපු කකුළ ඇදුං කන්න ගන්නවා. හුඟක්ම එහෙම වෙන්නෙ දවාලියෙ ටිකක් වැඩිපුර ඇවිද්ද දාට. එහෙම වේදනාව වැඩිම වුණ දාට ඇස් පුපුරන්නැහෙ කඳුළු ඇස් ඔල පොදි කනවා. කකුලක් නැතත් මං පිරිමියෙක්. හිතට එහෙම කියලා මං ඇඳේ අනිත් පැත්තට හැරෙනවා.“මා පුතා! මොකෝ උඹේ කකුල අමාරුද? “අම්මා එහෙම අහලා ඉහ අතගානවා වාගෙ මට දැනෙනවා සමහර දවස්වලට. ඉකිය හිර කරගන්නම අමාරු වෙන්නෙ එහෙම දාට.........දවල් වරුවට මං මල්පෝච්චි හදනවා. අම්ම නොවෙන්න මටත් රණ විරු සෙවන වගෙ තැනකට ගිහින් මොනම හරි දෙයක් කරාන ඉන්න තිබුණා. අඩුම ගානෙ එළවළු විකුනන්නවත්.මල් පෝච්චි හැදිල්ල නං අතිං පාඩුයි. මෙහෙ මල් වවාන ගෙවල් ලස්සන කරාන ඉන්ට තරං විවේක තියෙන ගෑනු කොයි? අවුරුදු දාහතර පාලහ වෙනකල් උන්ව හදා ගන්ට අම්මන්ඩිලා දහ දුක් විඳිනවා. ඊට පස්සෙ ඔමරියට අහු වෙන එකෙක් එක්ක කැලෑ කට්ටියක් සුද්ද කරාන පැල් ගැහෙනවා. එච්චරයි. එහෙමත් එකියක් තමයි ඔය බදනාගලින් එහාට යන්නෙ. එතනිං එහාට ළමයි වැදිල්ලයි,හේන් කුඹුරු එක්ක ඔට්ටුවිල්ලයි ඇර අහවල් මල් ද? මහවැලියට ලියලා ලියලා ලැබෙන ගොඩ මඩ අක්කර එකාමාර තමා ඉතින් ජීවිතේ.එතනිං එහාට මරණයක්, මගුලක්, දානයක්, සල්පිලක් ඇරුණම කදුරුවෙල ටවුමෙ මායිම වත් නොදත් අම්මන්ඩිලා මේකෙ ඉන්නවා ඕන පදං.“ශ්‍රීමතී”ශ්‍රීමතීටත් මෙහෙ ආවනම් වෙන්නෙ ඒ ටිකමයි.ඉන්න තැනක එයා මලක් වවාන , දරුවොත් බලාන සන්තෝසෙන් ඇති.ඒත්! කාටද හරියටම කියන්න පුළුවන් සන්තෝසෙ කියන්නෙ ඒකමයි කියලා????මං මල් පෝච්චි හදන්නෙ මනංපිටියෙ වැලි මුදලාලි කෙනෙක්ගෙ ඕඩරේකට. මිනිහා එක්ක බිස්නස් කෙරුවාවත් ලේසි කෙළියක් නෙවි. ඌ හදන්නෙ අනුකම්පාව පෙන්නගෙන මාව ගොනා කරගන්න. මුං ඔක්කොම එකයි..
NEWS
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා යන මගී ජනතාවගේ ගමන් පහසුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කොට ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.මෙම බස් රථ සේවාව මේ මස 7 වෙනි දින සිට 21 වෙනි දින දක්වා ක්‍රියාත්මක කෙරේ. දුර ගමන් සේවා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ නොඅඩුව ධාවනය කිරීමටත් අවශ්‍ය කටයුතු සලසන ලෙස මධ්‍යම බස් රථ කාර්යාලවල ඩීපෝ අධිකාරීවරුන් දැනුවත් කොට ඇත.අදාළ කාලසීමාව තුළ සියලුම සුබ සාධන චාරිකා හා විශේෂ චාරිකා සඳහා බස් රථ මුදා හැරීම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර තිබේ. හදිසි අවශ්‍යතාවක දී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කරන ඉල්ලීම්වලදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට කටයුතු කරනු ඇතැයි ද ඇමැතිවරයා පවසයි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් ආරම්භක ස්ථානවලින් මගීන් රැගෙන යාම සඳහා පිටකොටුව, මහරගම, කඩුවෙල, ගම්පහ යන ස්ථානවලින් බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. උත්සව කාලසීමාව තුළ දී මධ්‍යම බස් රථ කාර්යාලයේ සිට පිටත් වන බස් රථ හා පිටස්තරින් නගරයට එන බස් රථ සඳහා ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටවා ඇත. අන්තර් පළාත් සියලුම බස් රථ ඒකාබද්ධ සේවාවන් ක්‍රියාත්මක කිරීම ද අත්හිටුවා ඇත.උත්සව සමය අවසානයේ කොළඹට පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව සඳහා ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොනරාගල, බදුල්ල, මහනුවර, හැටන්, කුරුණෑගල ප්‍රදේශවලින් වැඩි මගී සංඛ්‍යාවක් පැමිණිය හැකි බැවින් එම දිනවලට බස් රථ සියයේ සිට දෙසීයට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇත.උත්සව කාලය තුළ මධ්‍යම බස් රථ කාර්යාලය පරිභාහිරව කටුනායක, බියගම වෙළෙඳ කලාප, පානදුර බදුල්ල විශේෂ සේවා හා සීතාවක අවිස්සාවේල්ල වෙළඳ කලාපය හා ඒ අවට අනුබද්ධ කර්මාන්ත පුරයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී ඇතැයි ද දිසානායක මහතා 'දිනමිණ'ට පැවැසීය..
NEWS
ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ක්‍රීඩා වෛද්‍ය සායනය මීගමුව දිසා මහ රෝහලේ දී විවෘත කිරීම, නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජන මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා මෙසේ පැවැසීය.ක්‍රීඩාවෙන් වන අනතුරුවලින් වළක්වා ගැනීම, එම අනතුරුවලට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම මේ සායන තුළින් සිදු කරනවා.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ගම තුළින් බිහිකිරීම මෙහි තවත් ඉලක්කයක් වී තිබෙනවා. ක්‍රීඩාවට බලය අවශ්‍යයි. එම බලය තහනම් උත්තේජනක මගින් ලබාගැනීමට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්සහ කරනවා. එය වළක්වාලීමට අවශ්‍ය ප්‍රතිකාර විදි මෙහි දී සිදුවෙනවා.මෙය මීගමුව දිසා මහ රෝහලේ පැරණි ගොඩනැගිල්ල තුළ ‘රක්තවාතවේද හා පුනරුත්ථාපන අංශය හා ක්‍රීඩා වෛද්‍ය සායනය’ ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි යන මහත්වරු ද කතා කළහ..
NEWS
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ අධීක්‍ෂණය මත මතුගම ලංගම ඩිපෝවේ බස් රථ 30ක් අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමට ක්‍රියා කර ඇත.මතුගම ඩිපෝවේ වෙන්දේසි කිරීම සඳහා තිබූ බස්රථ 30ක් මාසයක් තුළ අලුත්වැඩියා කර ධාවනයට යෙදවිය. මේ සඳහා රු. ලක්‍ෂ අනුවක් වැය කැර තිබේ.එම බස් රථ ධාවනයට යෙදවීමේ අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මෙසේ කීය.ලංගමය භාර ගන්නා විට තිබුණේ අඩු ආදායම් තත්ත්වයක්. එහෙත් දැන් එය ක්‍රමයෙන් වැඩිවෙනවා.පසුගිය කාලේ දෛනික ආදායම තිබුණේ රුපියල් ලක්‍ෂ 380ක් පමණයි. මේ අගෝස්තු මාසය වන විට ඒ ප්‍රමාණය ලක්‍ෂ 430 දක්වා වැඩි වෙලා . මේ වසර අවසන්වීමට ප්‍රථම දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා.දැනට ලංගමය සතුව ඇත්තේ බස්රථ 5183ක් පමණයි. මේ වසර අවසන්වීමට කළින් ලංගමය සතු බස්රථ සංඛ්‍යාව 7000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා.ලබන මාසයේ අලුත් බස්රථ 500ක් ධාවනයට යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.ඉදිරියේදි 30% අඩුමිලට බස්රථ අමතර කොටස් ගන්න ජනාධිපතිතුමාගෙන් අනුමැතිය ඉල්ලු විට එය වසර තුනකට ලැබුණා. අපේ ලංගමය ගොඩගන්න එය ඉතාමත් වැදගත් තීරණයක්.ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එච්. ඩී. බන්ධුසේන මහතාලංකා ගමනා ගමන මණ්ඩලය ගොඩගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. අපි මේ ලංගමය කෙසේ හෝ නගා සිටුවනවා.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චÁද්‍රබානු අදිකාරම් , ඇමතිවරයා ගේ සම්බන්ධිකරණ ලේකම් පියන්ත විජේසිංහ උප සභාපති ඩී. විමලරත්න මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ..
NEWS
යුද්ධයෙන් පසුව උතුරු පළාත තුළ පවුල් පහළොස්දහසක් (15,000) මේ වන විටත් නැවත පදිංචි කර අවසන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.උතුරේ සියලු ජනතාවට පහසුකම් සැපයීමට ද රජය සමත්ව තිබෙන බවද ඉදිරියට ඔවුන් පිළිබඳපසුවිපරම් සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති පැට්‍රිෂියා බුටෙනිස් මහත්මිය හා ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අතර හමුවක් පසුගියදා (06) අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා මේ අදහස් පළකළේය.මෙහිදී යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.නැවත පදිංචි කළ ජනතාවට පහසුකම් කඩිනමින් ලබාදීමට අමෙරිකානු රජයේ හා ස්වෙච්ඡා සංවිධානවල සහයෝගය ලබාදීමට ද මෙහිදී පැට්‍රිෂියා බූටෙනිස් මහත්මිය එකඟතාව පළකළාය..
NEWS
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීම සඳහා චීනය නොමසුරු සහායක් ලබාදෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පැවැසීය.චීනයත්, ශ්‍රී ලංකාවක් අතර වර්තමානයෙහි පවතින සුහදතාව අතිශය දුර ගමනක පෙර නිමිති බව හෙතෙම කීවේ ය.දිවයිනට පැමිණ සිටින චීන ආගමික කටයුතු ඇමැති වොන් ෂුවෝ මහතා ඇතුළු පිරිසක් අගමැති නිල නිවෙසේ දී අගමැති දි. මු. ජයරත්න මහතා ඊයේ (21) හමු වූ අවස්ථාවේ දී ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේ ය.පාහියන් භික්ෂුවගේ ලංකා ගමනයටත් පෙර සිට දෙරට අතර සබඳතා පැවැතුණ බව පැවැසූ අගමැතිවරයා වසර 1952න් පසු එම සබඳතා තව තවත් ශක්තිමත් වූ බවද කීවේ ය.ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන දැවැන්ත ව්‍යාපෘති රැසක් සඳහා චීන රජය සහාය දුන් බව සිහිපත් කළ අගමැතිවරයා හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල ව්‍යාපෘතිය ද ඊට ඇතුළත් බව ප්‍රකාශ කෙළේ ය.මෙරට සංචාරය සඳහා චීන ජාතිකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන් රැසක්ද මේ වන විට ක්‍රියාත්මක බව ජයරත්න මහතා එහි දී සඳහන් කෙළේ ය.චීනයේ ආගමික කටයුතු ඇමැති වෝන් ෂුවෝන් මහතාලෝක බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමේ දී ලංකාව එහි කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. ඒ වගේ ම බෞද්ධාගම ප්‍රචාරයේදීත් ශ්‍රී ලංකාව සිදු කරන මෙහෙය සුවිශේෂියි.මීට අමතරව දෙරට අතර ශ්‍රාස්ත්‍රීය, ගවේෂණ, අධ්‍යාපන, විනය කර්මය පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටත් කාලය එළැඹ තිබෙන බව හෙතෙම පැවැසීය.මේ අවස්ථාවට චීනයේ හිමිවරුන් ඇතුළු එරට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අගමැති ලේකම් එස්. අමරසේකර, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහත්වරුන් ද සහභාගි වී සිටියහ..
NEWS
ගාල්ල, බද්දේගම, ‘මීමැඩුම’ ගම්මානය රට පුරා ප්‍රකටව ඇත්තේ ගලින් කෙරෙන විවිධ භාණ්ඩ නිසාය. ගල් වංගෙඩි, ඇඹරුම් ගල්, කුරහන් ගල්, මිරිස් ගල්, පමණක් නොව ගල් උළුවහු, නාම පුවරු, ගලින් නෙලූ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමාද කළ හැකි විවිධ නිර්මාණකරුවන් මීමැඩුමෙන් බිහිවී ඇත.නමුත් අද දවසේ ඔවුන් විවිධ ගැටලු රැසකට මුහුණ පා ඇතැයි මීමැඩුම ගම්වාසීහු පවසති. මේ ඔවුන් හා කළ කථා බහකි.එම්. ඒ. ආරියනන්ද මහතා (59)කළුගල් එක්ක හැපෙන අපේ ජීවිත තවම අඳුරේ. එම්. ඒ. ඩව්නිස් හාමි (මියගිය) මගේ තාත්තා කළු ගලෙන් ‘විස්මිත නිර්මාණ’ කළ ශිල්පියෙක්. සන්දරවල අසල ඓතිහාසික දුටුගැමුණු මහා විහාර සාංචි තොරණ කළේ අපේ තාත්තා.දිවංගත ජනපති ප්‍රේමදාස මහත්මයා අපේ තාත්තාට ‘කලා භූෂණ’ ගෞරව නාමය දුන්නෙත් තාත්තගේ දස්කම් දැකලයි.මමත් ගලෙන් බුද්ධ ප්‍රතිමා නෙළලා තියෙනවා. විහාරස්ථාන කිහිපයකම මගේ නිර්මාණ දකින්නටත් පුළුවන්.චානක මාපලගම (31) මහතා මගේ ළඟ තරුණයන් කිහිප දෙනෙක් වැඩ කරනවා. ගල් වංගෙඩි මිරිස් ගල්, කුරහන් ගල්, අපි ඔප දමනවා.අලුතෙන්ම වැඩ පුහුණුවෙන අයත් ඉන්නවා. ස්ථිර වෙළඳ පොළක් හා ස්ථිර මිලක් ලැබෙනවා නම් හොඳයි.තවමත් එහෙම නැති එක ප්‍රශ්නයක්.එම්. ඒ. ගයාන් (29) මහතා අපේ ගමේ සියයට අසූවක් කරන්නේ ගලෙන් කරන වැඩ තමයි.ගල් ලබාගන්නට අපට ඉඩමක් දුන්නේ ගුණරත්න වීරකෝන් ඇමැතිවරයායි. නමුත් තවමත් ආයුධ රත්කරන ගල් අඟුරු මිල සැරයි.ඒ ගැනත් බලනවා නම් හොඳයි. කළු ගලේ හැපෙමින් ජීවිතය ගැට ගහගන්න හදන මේ දිරිය මිනිසුන්ට අත හිත දීමට වගකිව යුත්තන්ගේ නෙත් සිත් විවර වේවා යනු අපගේද පැතුමයි.
NEWS
ගම්පහ සුමේධ විද්‍යාලයේ පළමුවැනි වසරේ ඉගෙනුම ලබන දිනනි සාධනා ජයකොඩි (6) දැරිය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් ‘බෝසත් ගිරවාගේ කතාව’ දැක්වෙන පුංචි තොරණක් නිර්මාණය කර තිබේ.මේ දැරියගේ චිත්‍ර ඇඳීමේ දක්ෂතාව හඳුනාගත් ඇගේ පන්තිභාර ගුරුතුමිය වූ ඩබ්ලිව්. පී. නාලිකා දිල්රුක්ෂි මහත්මිය පැවසුවේ මෙවැනි නිර්මාණයක් කිරීමට දිනනි දැරියට ඉමහත් ආසාවක් තිබූ බවත් ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙන්නැයි ඇය ඉල්ලූ බවත් ය. ඒ අනුව දිනනි දැරිය තමාගේ ම උත්සාහයෙන් මේ තොරණ ඇඳ සකසා ඉදිරිපත් කර ඇත. මේ සිඟිති කලාකාරියගේ හෙට දවස ප්‍රභාමත් වේවායි සුබ පතමු..
NEWS
කොළඹ කුරුණෑගල පාරේ හොරම්පැල්ල නවලෝක හන්දියට පදික මාරුවක් සලකුණු කර දෙන ලෙස ඉල්ලා වසර ගණනක් ගත වුණත් තවම ඉටුවී නැතැයි දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක මහතා (එ. ජ. නි. ස.) කීය.දිනපතා විශාල ජනතාවක් එහා මෙහා යන නවලෝක හන්දියේ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා තමන් මේ ඉල්ලීම කර ඇතැයිද ඒ පිළිබඳව අවස්ථා කීපයක්ම දිවුලපිටිය සම්බන්ධීකරණ කමිටුවේදී පවා සාකච්ඡාවට ලක් කළත් වගකිවයුත්තන් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් වන්නේ යැයි ද ඒ මහතා කීය..
NEWS
ජගත් විස්සයි20 කෙළිබිමේ ආකර්ෂණීය ක්‍රීඩකයන් වන බටහිර ඉන්දීය කොදෙව් ආක්‍රමණශීලී ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් හා පාකිස්තාන තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි ලබන අගෝස්තු 10 වැනිදා ඇරැඹෙන ප්‍රථම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර සංකේත ක්‍රීඩකයන් දෙදෙනා ලෙස නම් කොට තිබේ.ගේල් උෘව පළාත් පිළ වෙනුවෙන්ද, අෆ්රිඩි නැගෙනහිර පළාත් පිළ වෙනුවෙන්ද ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ අනෙක් කණ්ඩායම් පහේ සංකේත ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා ජනපි‍්‍රය ක්‍රීඩකයින් නම් කර ඇත.ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සති තුනක් තිස්සේ පැවැත්වෙන අතර අවසාන මහා තරගය අගෝස්තු 31 වැනි දින පැවැත්වේ. තරගාවලිය තරග 24කින් සමන්විත වන අතර කොළඹ හා පල්ලෙකැලේදී මෙම තරග පැවැත්වෙනු ඇත..
NEWS
යුද්ධය නිසා ආපදාවට පත් මුලතිවු සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ජනතාවට සහන වශයෙන් රු. කෝටි 4කට ආසන්න වන්දි මුදලක් පිරිනැමීම අද (25) උදේ 10ට යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.පුනරුත්ථාපන අධිකාරිය මගින් සංවිධාන කරන රජයේ සේවක වන්දි සහ සාමාන්‍ය දේපළ වන්දි යටතේ පුද්ගලයින්413කට සහ පූජනීය ස්ථාන 10කට මෙලෙස වන්දි හිමි වනු ඇත.මේ උත්සවයට ඇමැති චන්ද්‍රසිරි මුතුකුමාරණ, අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ , අමාත්‍යංශ උපදේශක සතිස් කුමාර්, පුනරුත්ථාපන අධිකාරියේ සභාපති ඊ.ඒ. සමරසිංහ මහත්වරුද එක්වෙති..
NEWS
මාතර වෙළද හා වාණිජ සංගමය සංවිධානය කරන මාතර දිස්ත්‍රික් අන්තර් වෙළද සංගම් ක්‍රිකට් සැණකෙළිය මේ මස 27 වැනිදා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.පිලකට ඕවර 5කට සීමාවන තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා වෙළද සංගමයේ සාමාජික වෙළද ආයතනයේ හිමිකරු, අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයන් දෙදෙනකු සහ අවුරුදු 35ට වැඩි ක්‍රීඩකයන් නවදෙනෙකු ඇතුළත් විය යුතුය.පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් හය බඳුන ශූරතාව සඳහා තරග වදිනු ඇත. මාතර දිස්ත්‍රික් වෙළද සංගම් දහය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගිවන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික සමාගම වන අතර කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ජනශක්ති රක්ෂණ සමාගම සම අනුග්‍රහය දක්වයි..
NEWS
මෙවර යල කන්නයේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන මහතා පවසයි.උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි අලුතින් අස්වැද්දූ කුඹුරු ඉඩම්වලින් සරු අස්වැන්නක් බලාපොරොත්තු වන අතර එය සමස්ත දිවයිනේම වී මෙට්‍රික් ටොන් 1.5ක් පමණ වනු ඇතැයි සිරිසේන මහතා පවසයි. මේ මස අවසන් සතිය වන විට වී මිලදී ගැනීම ආරම්භ කෙරේ.වී තොග අලුතින් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා රජය සතු වී සංචිතවලින් මෙට්‍රික් ටොන් 30000ක් පමණ වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර ඇත. තවත් වී ටොන් 60,000ක් පමණ ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් අමාත්‍යාංශය සතුව පවතින බව දිනමිණ කළ විමසීමකදී සුනිල් සිරිසේන මහතා පැවැසීය..
NEWS
පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගම්මාන රැසක සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් 350ක් සිටිනා බව පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඉකුත් මාසයේදී කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වි ඇත.මෙය දැනගත් වහාම ක්‍රියාත්මක වූ පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභහපතිවරයා වි‍ශේෂ අවධානය යොමු කොට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැතිවරයා වෙත ලිපියකින් කරුණු අනාවරනය කොට මේ නිවැසියන් හට සනීපාරක්ෂක කටයුතු සදහා අවශ්‍ය වැසිකිළි සෑදීමට මුදල් ප්‍රතිපාදන ඉල්ලා ඇත.මේ මුදල් ලැබු වහාම මොවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදී වැසිකිළි සෑදිමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් සිදු කෙරෙන බව සභාහපති අනුර කුමාර මඩුලුස්ස මහතා පවසයි.
NEWS
ශ්‍රී ලාංකික කාන්තා නැටුම් ශිල්පිනියන්ට සිංගප්පූරුවේ රැකියා ලබා දෙන බව පවසමින් එම කාන්තාවන් ගණිකා වෘත්තියට විකිණීමේ ජාවාරමක් පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කැර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙහිඅත්තකණ්ඩියේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස පෙනී සිටි සංජය බණ්ඩාර නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මෙම කරුණු හෙළිකෙළේය.විදේශගත කාන්තාවක් හා සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය කළ පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ කටයුතු කරන බව රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට දන්වා සිටියේය.සැකකරුවන් කාන්තා නැටුම් ශිල්පිනියන්ව සිංගප්පූරුවට ගෙන ගොස් වෙනත් කාන්තාවකට විකුණා ඇති බවද, එයින් මිදී පැමිණි කාන්තාවන් කරුණු හෙළිකිරීමට මැලිවීම හේතුවෙන් පරීක්‍ෂණ කටයුතු දුෂ්කර වී ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.සැකකරු ලබන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ මහේස්ත්‍රාත්වරයා පරීක්‍ෂණවල ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය..
NEWS
ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලොවට කියාපෑමට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මහඟු අවස්ථාවක් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ත්‍රස්තවාදය අවසන් කර වසර හතරක් ගත වුව ද රට තුළ එකදු සිදුවීමක් හෝ වාර්තා වී නොමැති බවත් යුද්ධයකින් පසුව එකම සිදුවීමක් හෝ වාර්තා නොවූ එකම රට ශ්‍රී ලංකාව බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන 'දි ඕස්ට්‍රේලියන්' ආයතනයේ විදෙස් ප්‍රවෘත්ති කර්තෘ ග්‍රෙග් ෂර්ඩෑන් මහතා සහ ඇමැතිවරයා අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව හා එහි පූර්ව සූදානමත් රටේ වත්මත් තත්ත්වයත් පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ග්‍රෙග් ෂෙරිඩෑන් මහතා පසුගිය 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේය.ග්‍රෙග් ෂෙරිඩෑන් මහතා හමුවේදී රඹුක්වැල්ල මහතා මෙසේද කීය. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අප රට ගැන විවිධ අදහස් දක්වන පිරිසට පිළිතුරු ලබාදීමට අපට ලැබුණු හොඳ අවස්ථාවක්. අතැැම් රටවල් අප රටේ ආරක්ෂාව නැති බව පවසනවා. එහෙත් අප රටේ ත්‍රස්තවාදය නිමකර වසර 4ක් ඉක්මවූවත් කිසිදු සිදුවීමක් වාර්තා වී නෑ.රට තුළ නීතිය හා සාමය හොඳින් පවත්වාගෙන යාමට අපට හැකි වී තියෙනවා. පසුගියදා රතුපස්වල යම් සිදුවීමක් සිදුවුණා. එහිදී හමුදාව සම්බන්ධව විවිධ මත පළ වුණා. එම සිදුවීම හමුදා අධිකරණයට ගෙනගොස් තිබෙනවා. වසර 30ක් පුරා අප ර‍ටේ යුද්ධයක් පැවතුණා. බිම් බෝම්බ සෑම ප්‍රදේශයකම වළලා තිබුණා. මේවා ඉවත් කිරීමට ‍යම් කාලයක් අපට ගත වුණා. මේ වන විට සියයට 95ක් පමණ බිම් බෝම්බ ඉවත් කර තිබෙනවා.ත්‍රස්තවාදීන් නිසා කොටි 366ක පවා බැරියර් යොදා ආරක්ෂාව තහවුරු කිරීමට අපට සිදු වුණා. ත්‍රිවිධ හමුදාවම මේ කටයුතුවල නිරත වෙලයි සිටියේ. ඉන් සාමාන්‍ය ජනතාව පවා පීඩාවට පත් වුණා.දැන් රට තුළ මේ තත්ත්වය නෑ. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මකයි. දැනුම, නාවික ගුවන්, අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරලීමටයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ.මේ තත්ත්වය ඉවසිය නොහැකි සැමදාමත් ජනතා මතයෙන් පරාජය වූ බංකොළොත් දේශපාලන පක්ෂ මේ රට අරාජික කිරීමට ලෝකයට අසත්‍ය ප්‍රචාර සිදු කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන රාජ්‍ය නායකයන් ‍ර‍ටේ තත්ත්වය සියැසින්ම දැක ගනීවි. ත්‍රස්ත ව්‍යාපාරය හා කටයුතු කළ 12000ක් පමණ පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට අපට හැකි වුණා. 600ක් පමණ ත්‍රිවිධ හමුදාවේ සේවයට එක් වුණා.ශ්‍රී ලංකාවේ පිහිටීම සංචාරක ව්‍යාපාරයට විශාල ඉඩක් ලබාදී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ව්‍යාපාරික ප්‍රජාව 1000ක් පමණ එක් වෙනවා. මේ අය සමඟ විශාල ආයෝජන ආරම්භ කරන්න අප සූදානම්.මේ වන විටත් ෂෑංග්‍රිලා ෂෙරටන් ව්‍යාපාරික ගිවිසුම් ගත වී අවසන්. බ්‍රැන්ඩිස් ඇතුළු ලෝකයේ ප්‍රසිද්ධ ආයතන ගණනාවක් සාකච්ඡා සිදු කර අවසන්. ශ්‍රී ලංකාවේ සංවර්ධනය නවතාලන්න සිදු කරන විදෙස් කුමන්ත්‍රණ වලට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව කදිමට පිළිතුරු සපයාවි.මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා සහ ෂර්ඩෑන් මහතාගේ බිරිය වන ජෙසි ෂර්ඩෑන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ..
NEWS
උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලදී.පළාත් මහඇමැතිවරුන්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුකාරවරු මෙම පළාත් සභා විසුරුවා හැරියහ.පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ආණ්ඩුකාරවරු ඊයේ දහවල් අස්සන් තබා තිබේ.උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර, නැ‍ෙඟනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහත්වරු මෙසේ අස්සන් තැබූහ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ මැතිවරණයක් පැවැත්විය යුතු අතර ඒ අනුව සැප්තැම්බර් මාසයේ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය. ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ට පැවරී ඇති බලතල අනුව පළාත් සභාව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට තමා අස්සන් තැබූ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා දිනමිණට පැවසීය.උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යැවූ බවත් ඒ අනුව එම පළාත් සභා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලද බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය..
NEWS
මන්ද මානසික දැරියක් අපයෝජනය කළා යැයි මනිබඩු වෙළෙළඳසල් හිමිකරුවකුට වසර දෙකක බරපතළ සිර දඬුවමක් ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු එල්. යූ. ජයසූරිය මහතා එම සිර දඬුවම වසර දහයකට අත්හිටුවමින් රුපියල් 1000ක දඩයක් ද ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළේ ය.එසේම අතවරයට පත් දැරියට වන්දි වශයෙන් රුපියල් 25,000ක් ගෙවන ලෙසට ද නියෝග කළේ ය.එම දඩ මුදල් නොගෙව්වොත් තවත් වසර දෙකකින් දඩුවම් දීර්ඝ කරන බවත් විනිසුරුවරයා කියා සිටියේ ය.2003/02/17 දින හෝ ඊට ආසන්න දිනයක දී අවුරුදු 16ට අඩු කන් නොඇසෙන මන්දබුද්ධික දැරියක් අපහරණය කළා යැයි විත්තිකරු මේ නඩුවෙන් චෝදනා ලැබ සිටියේ ය.දැරියට සැලලිහිණියන් පෙන්වන්න එන්න කියා කැලෑ රොදකට ගෙන ගොස් මේ අපරාධය සිදුකොට තිබෙන බැව් අධිකරණයේ දී හෙළිදරව් විය.කුලියාපිටිය සදලංකාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. එස්. බී. රණසිංහ මහතා ගේ වෛද්‍ය වාර්තාව අනුව ඇය දූෂණයකට ලක්වී තිබෙන බවට සඳහන් කොට තිබුණි.ජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් පැමිණිල්ල මෙහෙය වන ලදී. විත්තිකරු වෙනුවෙන් නීතිඥ සිරිසේන පල්ලියගුරු මහතා පෙනී සිටියේ ය..
NEWS
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස කලක් පැවති උණවටුනේ ගැමුණු ක්‍රීඩාංගණය සකස් කිරීමට මුල්ගල් තැබූ ගොඩනැඟිලිවල ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති අතර ඒවා අද කැලෑවට ගොස් තිබේ. මේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති. මේ ක්‍රීඩාංගණය සමතලා භූමියක් නොවේ. එහි ගල් බොරළු සහිත වීම නිසා ක්‍රීඩකයන්ට විවිධ අසීරුතාවලට මුහුණපාන්නට සිදුවේ. ක්‍රීඩා පිටිය හරහා මාර්ගයක් පැවැතීමද මෙය වටා ආරක්ෂිත තාප්පයක් නැතිකමද විශාල ගැටලුවක් බව ප්‍රදේශවාසීහු කියති..
NEWS
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අද දින (2013/12/12) ජාඇල, මීගමුව ප්‍රධාන මාර්ගය අසල පවත්වාගෙන ගිය ආහාර සැකසුම් මධ්‍යස්ථානයක සිදුකළ වැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ කුකුළු මස් 3000kg ක් , ඌරු මස් 500kg ක් , නරක් වී ඇති අල 2000kg ක් බොම්බයි ලූනු 3000 kgක් සොයා ගැනීමට සමත් වී ඇත.සොයා ගන්නා ලද මෙම ද්‍රව්‍ය තොගයේ වටිනාකම ලක්ෂ 50 ඉක්මවනු ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි. සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත් කරන ලද කල් ඉකුත් වූ පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් හා ඌරු මස්වල කල් ඉකුත් වූ දිනය වෙනස් කර නැවත අසුරා වෙළෙඳපොළට හා හෝටල්වලට එවීමට සූදානම් කර තිබුණි. එමෙන්ම නරක් වී ඇති අල හා ලූනුවල නරක් වූ කොටස් ඉවත් කර සුද්ද කර හෝටල්වලට ලබා දී ඇත. උත්සව සමය ඉලක්ක කරගෙන මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම් සිදු කරන ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇත. මේ උත්සව සමයේ දී පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් යුතු ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන ලෙසත් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන් පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටින ලෙසත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇත..
NEWS
උතුරේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගෙන ඇති උත්සාහය නෝර්වේ රජයේ ප්‍රශංසාවට ලක් කෙරේ.‍ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ග්‍රේට් ලොචෙන් මහත්මිය ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයේ දී ඊයේ (29) හමු වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළාය.ජනාධිපතිතුමා සමඟ පැවැති කෙටි මිත්‍රශීලී සංවාදයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව නෝර්වේ රජය සතුටු වන බව ද ඇය ප්‍රකාශ කළාය.උතුරේ ජනතාවගේ ආර්ථික හා සමාජ දියුණුව සහතික කිරීම සඳහා අලුතින් තේරී පත් වූ පළාත් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය සූදානම් යයි ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.පෝෂණය පිළිබඳ ජනාධිපති උපදේශක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය..
NEWS
බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ විධායකයන්ගේ ක්‍රීඩා උළෙලේ සූරතාව දිනාගැනීමට “සුලු වොරියර්ස්” නිවාසය සමත් විය. වික්ටෝරියස් සීක්‍රට් සහ වයිකින්ස් නිවාස සම ලකුණු ලබා අනු සූරයින් වූහ.පසුගියදා කොළඹ සී. එස්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් සහභාගි විය. මේ ක්‍රීඩා උළෙලට එම ආයතනයේ අංග 30ක් නියෝජනය කරමින් නිවාස 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600 ක් පමණ සහභාගි වූහ..
NEWS
අත් පා අහිමි ආබාධිත පුද්ගලයකුට නිවසක් තනාගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් දෙලක්ෂ පනස්දහසෙන් ලක්ෂයක් අල්ලස් වශයෙන් ලබාගත් රත්නපුර තුඩාව ග්‍රාම සේවක අල්ලස් දැලට කොටු වී තිබේ.එම ආබාධිත පුද්ගලයාගේ නිවස තනා ගැනීමට අවශ්‍ය ලියකියවිලි නිකුත් කිරීම සඳහා ග්‍රාම සේවක මෙසේ අල්ලස් ඉල්ලා තිබුණි.එම අල්ලස් මුදලින් රුපියල් තිස්පන්දහසක් ඊයේ (25) ලබාගනිද්දී මෙසේ අත්අඩංගුවට පත්වී තිබේ.රුපියල් ලක්ෂයේ ඉතිරි කොටස තව දින කිහිපයකින් ලබා ගැනීමට නියමිතව තිබුණි.සැකකරු මෙසේ අත්අඩංගුවට පත් වූයේ ඊයේ එම ග්‍රාම සේවා නිලධාරී කාර්යාලය තුළදීම අල්ලස් මුදල ලබා ගනිද්දීය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සෝමවීර ලොකුගේ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ වැටලීම සිදු කෙරිණි.සැකකරු ඊයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි..
NEWS
බඩු මල්ල දීලා එන්න හිරියාලේ දුම්ගාලට යන මා බොහෝ වාරයන්හි සනි දා රාත්‍රිය ගත කළේ ඒ වාඩියේ තාත්තා වෙනුවෙන් වූ කෝටු මැස්සේ ය. එහි හැම දෙනට ම එබඳු කෝටු මැස්ස බැගින් තිබිණි. වාඩි මඩුව හදන දවසේමය එ් ‘ඇඳන්’ හැදෙන්නේත්.ඒ එක්දාස් නවසිය තිහේ දශකයේ මැද හරියයි. මට එහි යන්නට තුබුණේ සති දිනක ය. රෑ එහි නැවැතී ගෙදර ආවේ ඉරිදා සවස ය. ‍‍බඩුමල්ල රැගෙන ගිය එදින රෑ මම මාටින් අයියා චාටු කැරගෙන වැඩිපුර උම්බලකඩ කුට්ටියක් ලබාගෙන රෑ වන තුරු මැස්සේ පැදුරේ දිගා වී එය ලෑටි ගෑවෙමි. ඒ අතර නින්දගොස් තු‍බුණේ මා නොදැනුවත්වම ය.දෙගොඩ හරි ජාමේ මට ඇස් ඇරිණි. පිටි කරේ අමුතු සීතල ගතියක් දැනුනෙන් මා නැඟිට බැලින් නම් සර්ප ගුලියක් මට දෂ්ට නො කැර නාඹර මගේ ඇගේ උණුසුම ලබමින් ගුලි ගැහී ඒ ඉන්නට ඇත්තේ මාපිලාවක විය යුතු ය.මම කඩා ගෙන පැන්නෙමි. මාටින් අයියා කරු කෙවිටකින් ඒ සර්ප ගුලිය ගෙන ගොස් කැළයට විසි කළේ ය. ඉන්පසු මට මෙසේ කීවේ ය. “ඕක තමා මම කීවේ ඔය උම්බලකඩ කකා නිදියෙන්ට එපා කියා.”ඉන් පසු මට නිදන්නට බැරි විය. නිදිමත අතුරුදන් විණි. එළිවන තුරු මම මදුරුවන් තල තලා හුන්නෙමි.පසු දින උදෙන් ම පිටත් වූයේ යළි කිසි රැයෙක එහි නො නවතින අධිෂ්ඨානයෙනි.ඉන් පසු ව බඩු මල්ල දුම්ගාලට ගෙන ගොස් දීමේ නියමය මට ලැබුණු කල්හි මා කළේ සනිදා පාන්දරින් ම පිටත් වීම ය. එවිට දවල් බතට වාඩියට යා හැකි විය. කෙසේ වෙතත් තුන පමණ හිරියාලෙන් ආපසු පිටත් වනු හැකි වී එසේ පිටත් වන්නට ලැබුණේ රෑ අට නවය පමණ වන විට ආපසු ගෙදර ආ හැකි වී.එසේ එන්නට නො ලැබුණොත් ඒ දඹුලු - කුරුණෑගල බසය පෑ ගණනක් පමා වීම නිසා ය. එවන් ඇතැම් දිනවල මට ලොරි කාරයන් ගේ අනුකම්පාව ලබන්නට සිදු විණි.ඒ කොයි කවර අන්දමින් හෝ කුරුණෑගලින් මෙපිට එන්නට නො හැකි වූ අවස්ථා ද තිබිණි.එවිට මට සිදු වූයේ සනිදා රාත්‍රිය කුරුණෑගල බස් නැවැතුම්පොළ අසල හෝටලයෙක ගත කිරීමට ය.ඒ හෝටලයේ රෑ බත් පිඟානක් සත දහයකි. මා බත් පිඟානත් කා එයට නියමිත සත දහයත් ඇඳට නියමිත රුපියල් දෙකත් දී නිදා ගන්නට උඩ තට්ටුවට ගියෙමි.ඒ බූරු ඇඳ වළ ගැහිලා ය. බොකුටු වෙලාය. ‘කමක් නෑ’ කියා නිදාගන්නට වීමි. එහෙත් මිනිත්තු පහක්වත් නිදා ගන්නට ලැබුණේ නැත. මකුණන් කන්නට වූයෙන් මම නැඟිට විදුලි පහන දල්වා බැලීමි. ඒ ඇඳ මකුණු තවානක් බඳු වී.කළ හැකි අන් දෙයක් නොවූයෙන් මම ඇඳ ඇතිරිල්ල ගෙන හොඳ හැටි ගසා බිම එළාගෙන නිදන්නට උත්සාහ කළෙමි.ඒ අතර මට සිහි වූයේ දුම්කොළ වාඩියේ කෝටු මැස්ස ය. එය මේ බූරු ඇඳට වඩා හොඳ නොවේදැයි සිතිණි. ඒ එක්ක ම මතක් වුණේ අර සර්ප ගුලියයි. එනයින් බලන කල මේ බූරු ඇඳ ඒ මැස්ස තරම් භයානක නෑ නේද කියාත් සිතිණි.එළි වන තුරු ඇහැරගෙන හුන් මම රෑටත් ඇර ඇති ඒ හෝටලයේ පල්ලැහැට බැස සත දෙකක් දී ‘නිකං තේ’ එකක් ගෙන කට ගාමින් කාලය ගත කළෙමි. එසේ ටික වේලාවක් ගතවන විට ඒජන්සියේ පත්තර මිටිය ආවේ ය. මම සත දහයක් දී ‘විශ්වවිද්‍යාලයෙන්’ පිටපතක් ගෙන එය කියවන්නට වීමි.
NEWS
තම රටේ ඊළඟ ක්‍රිකට් පරපුර වෙනුවෙන් සේවය කිරීමේ කැමැත්ත නිසා පකිස්තානු ක්‍රිකට් පිලේ පුහුණුකාර තනතුර සඳහා ලැබූ ආරාධනාව ප්‍රතික්‍ෂේප කළ බැව් හිටපු ඉන්දීය පුහුණුකරු වූ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ග්‍රෙග් චැපල් ප්‍රකාශ කළේය.2007 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය පිලේ පුහුණුකරු ලෙස සේවය කළ දෙවසරක ගිවිසුම දීර්ඝ නොකළ චැපල් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මධ්‍යස්ථානයේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීම පිණිස සිය රටට පෙරළා ගියේය.”ඔවුන් (පකිස්තානය) කළ ආරාධනාව මං ප්‍රතික්‍ෂේප කළා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ඊළඟ මාස 18ක කාලයක් සඳහා මං ගිවිසුම් අත්සන් කළ නිසා.” “සිඩ්නි මෝනිං” පුවත්පතට ප්‍රකාශයක් කරමින් චැපල් පැවසුවේය.ඉයන් චැපල්ගේ බාල සොයුරා වන ග්‍රෙග් චැපල් 1970 – 1984 කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 87 කට ක්‍රීඩා කොට ලකුණු 7110 ක් රැස්කළේය. එහි සාමාන්‍ය 53.86 කි. ඕස්ට්‍රේලියාව සහභාගි වූ ටෙස්ට් තරග 48 කට ඔහු නායකත්වය ද ලබා දුන්නේය.
NEWS
අතීතයේ මුළුතැන්වී සිටි තාත්තාව නූතන සමාජයේ සෑම අංශයකින්ම පෙරමුණ ගෙන සිටී. විවිධ බාධක මධ්‍යයේ තම ජීවිතය ජයගන්න කාන්තාවන් පිළිබඳ නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.එවැනි කාන්තාව‍න් අභියෝග ජයගන්නා අයුරු සටහන් වූයේ මෙලෙසිනි. පුත්තලම - පාලවිය ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන මාර්ගයට කාන්තාවක් විසින් තාර දමන අයුරු මෙහි දැක්වේ.
NEWS
පවුල් පන්දහසකගේ පමණ ප්‍රයෝජනයට ඉදිකර ඇති දේවහූව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විනාශයේ දොරටු කරා ගමන් කරමින් තිබේ. මෙය 1950 වසරේ පමණ ආරම්භ කළේ දේවහූව ගොවිජනපදය පටන් ගැනීමත් සමගය. ඒ වන විට මෙය බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කරනු ලැබුවද 1965 දී පමණ ඊට මාතෘ නිවාසයක් ද එක්විය. ඒ නිසා ගැබිනි මවුවරුන්ට දරු ප්‍රසූතිය සඳහා දුර බැහැර රෝහල්කරා යාමට අවශ්‍ය නොවීය. ඒ කාලයේදී පැය 24 සේවාවන් එම ආයතනය විසින් ජනතාවට සපයන ලදී. අභාග්‍යයකට මෙන් අද ඒ සහන කිසිවක් රෝගීන්ට නොලැබේ. පැය අටකට සීමා වූ බාහිර රෝගීන්ට වෙන් වූ සේවාවක් පමණක් එහි පවත්වාගෙන යයි.මේ පිළිබඳව ප්‍රදේශවාසීහු මෙසේ කීහ.ගලේවෙල හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ටී. බී. කොස්වත්ත මහතාමේ ඒකකය නඟා සිටුවන්ට කිසිම ඕනෑකමක් බලධාරීන්ට නෑ. එහි ජල ප්‍රශ්නය උග්‍ර වී තිබෙනවා. මේ ඒකකය ආරම්භකර දශක 6ක් පමණ වෙනවා. නමුත් ස්ථිර ජල යෝජනා ක්‍රමයක් ලබාදීමට බලධාරින් අපොහොසත් වෙලා.මේ මධ්‍යස්ථානයට අයත් ගොඩනැඟිලි ගරාවැටිලා. ඒවා ආරක්‍ෂාකර ගැනීමට කිසිම වැඩපිළිවෙළක් නෑ. දන්ත ශල්‍යාගාරයේත්, සේවක අඩුපාඩු ආදිය සම්පූර්ණකර මෙය ප්‍රදේශයේ ජනතාවට සේවයක් සැලසිය හැකි වන පරිදි සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.ඩබ්ලිව්. ජී. ජේමිස් (65) මහතා මගේ දරුවන් හතර දෙනෙක් ඉපදුනේ මෙම දේවහූවේ මාතෘ නිවාසයේ. මෙම ස්ථානයට අල්ලපු වැටේ මම පදිංචිව ඉන්නේ. වෛද්‍ය නිල නිවාසයේ ඉදිකිරීම් අතර මග නවතලා එහි තිබු භාණ්ඩ හොරු ගලවාගෙන ගිහින් මිලියන ගණන් වැයකර ඉදිකළ ගොඩනැඟිලි ගරාවැටිලා කිසිම ආරක්‍ෂාවක් නෑ. මේවා ජාතික අපරාධ මහත්තයෝ...” සුරංග සමන්ප්‍රිය මහතා දිවා රාත්‍රී ප්‍රතිකාර ලබාගත හැකි වන පරිදි මේ මධ්‍යස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කර දුන්නොත් ලොකු පිනක්.එම්. තිලකරත්න මහතාමෙහි මුලුතැන්ගෙයක්, වාට්ටුවත්, මෝචරියත් වැසිකිළි ආදී රෝහලකට අවශ්‍ය අංග හැම එකක්ම තිබෙනවා. ඒත් මාතෘ නිවාස වාට්ටුවේ තිබූ ඇඳන් පවා අරගෙන ගිහින්. අපි වගේ දුප්පත් අයට ඇයි මේ විදියට කෙනෙහිලිකම් කරන්නේ. දැන් මෙහි ප්‍රතිකාර පැය අටකට සීමාවෙලා. ඊට පසු රෝගියෙක් ආවේත් ධනය, ශ්‍රමය, කාලය මිඩංගු කරගෙන දඹුල්ල හෝ ගලේවෙල රෝහල්වලට යන්නට වෙනවා. ඒක දුප්පතුන්ට කරන හරිම අපරාධයක්.ජී. ආර්. සමරතුංග මහතාදවසකට පැය අටක් බාහිර රෝගීන් 200කට පමණ ප්‍රතිකාර කරනවා. වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අයට නිල නිවාස නැති නිසා ගෙදර ඉඳල එන්නේ. දි.වෛ. නි. නිල නිවාසය බාගෙට හදල තිබෙන්නේ. අපි වගේ දුප්පත් අයට ඇයි මෙහෙම සලකන්නේ. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය, අඩුපාඩු සම්පූර්ණ කරල තිබුණා නම් අපි දුරබැහැර රෝහල්වලට යන්න ඕනේ නෑ.දේවහූව ගොවිජනපදය ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඇති අඩුපාඩු දිනෙන් දින එකින් එක වැඩිවෙමින් පවතී. එබැවින් බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ වෙත යොමුවිය යුතුය..
NEWS
වෛද්‍යවරයකු මාස දහයක වයසැති රෝගී දරුවකුට ප්‍රතිකාරයක් ලෙස නියම කළ බටහිර ඖෂධයක් පෞද්ගලික ෆාමසියකින් වරදවා ලබා දී ඇත.මෙම ඖෂධය පානය කළ ළදරුවා රෝගාතුර වූයෙන් පාණදුර රෝහලට ඇතුළත් කළ අතර දරුවාගේ පියා කළුතර බලය ලත් නිලධාරි ආහාර සහ ඖෂධ පරීක්ෂක ඩී. ඇස්. ගුරුසිංහ මහතාට පැමිණිලි කෙළේය.මෙම බටහිර ඖෂධය පිළිබඳව පරීක්ෂණ ඇරැඹූ ගුරුසිංහ මහතා එම බටහිර ඖෂධය අලෙවි කරන ලද සමාගමට සහ වලානේ බටහිර ඖෂධ වෙළෙඳ සල් හිමියාටද 1980 අංක 27 දරන විලවුන් උපකරණ සහ ඖෂධ පනත යටතේ පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ නඩු පැවරුවේය.අධිකරණය හමුවේ පෙනී සිටි වගඋත්තරකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම වූ අතර නඩු විභාගය කල් තැබිණි..
NEWS
කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩ සටහන් සතියක් ජූලි මස 01 වැනි දින සිට 07 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ‘දිනමිණ’ට පැවසීය.ඩෙංගු මර්දන සතිය තුළදී ග්‍රාම නිලධාරි වසම් 15 තුළ සෝදිසි කිරීම් සිදුකෙරෙන අතර අවසන් දිනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කීට විද්‍යා පරීක්ෂකවරුන් ද යුද හමුදා සහ පොලිසියේ ද සහාය මත නිවාස හා සෙසු සියලු ස්ථාන පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදුකෙරේ.
NEWS
පැනගිය සෙබළුන් පනස් දහසක් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.මෙලෙස අත්අඩංගුවට ගන්නා සෙබළුන් පුනරුත්ථාපනය කර රැකියා පුහුණුව ලබාදී රැකියාවලට යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද යුද හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් උභය මැදිවල මහතා පැවසීය.යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට හමුදාවට භාරවීමේ පොදු සමා කාලයක් මේ වන විට ලබාදී නැතත් ඔවුන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මූලස්ථාන වෙත ගොස් භාර වීමේ අවස්ථාවක් ලබාදී ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය..
NEWS
පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් රැගෙන පැමිණි බස්රථයක් පලුගස්වැව ප්‍රදේශයේ දී අනතුරට ලක් වී තිබේ.එහි ගමන්ගත් සෙබළුන් 17 දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් එහි රියදුරාට බරපතල තුවාල සිදු වී ඇති බවද පොලීසිය පවසයි.
NEWS
සංස්කෘතිය ජීවිතය සමඟ වෙනස් වන්නකි. ජීවිතය වෙනස් වෙද්දී එයට ගැළපෙන පරිදි සංස්කෘතිය හැඩ ගස්වා ගැනීම ශිෂ්ටයන්ගේ සිරිත ය. පසුවුණු ශතවර්ෂ විසිපහ තුළ සිංහල ජීවිතය වෙනස් වෙද්දී සිංහල සංස්කෘතිය ද නොයෙක් විධියේ හැඩ ගැසීම්වලට භාජන විය. එහි ප්‍රතිඵල වශයෙන් නිර්මාණ ශිල්පයේ උසස් තැන් ගත් වෙහෙර විහාර වැනි ගොඩනැගිලි මෙන් ම ශෝභන ප්‍රතිමා හා ලක්‍ෂණ කැටයමුත් නොයෙක් තැන සුලභ වූ බව කිව යුතු ය. මේ ශිල්ප දියුණු වෙද්දී ම සාහිත්‍ය, චිත්‍ර, නෘත්‍ය, සංගීත ආදී කලා අතිනුත් සිංහල සංස්කෘතිය විශාල වශයෙන් පොහොසත් විය.අපේ රටේ සිද්්ධස්ථානවල පවත්නා දිරා ගිය හෙවත් ගරා වැටුණු පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවීමට සැදැහැවත්හු ඉතා කැමති ය. මේ නිසා අනුරාධපුරය, තිස්සමහාරාමය, කැලණිය, මහනුවර ආදී තැන්වල නොයෙක් අයුරින් පිළිසකර කරවූ ගොඩනැගිලි දක්නට ඇත. මෑතක සිට මහියංගනය පවා පුනරුද්දීප්තියට පත් කරවීමට වෑයම් කරන බව දක්නට තිබේ.එහෙත් මේ ස්ථානවල ඉතිහාසය හා චිරාගත තත්ත්වයන් ගැන දත් විද්‍යාඥයන්ගේ උපදෙස් නො ලබා ගොඩනැගිලි සංස්කරණය කරවීම නිසා බරපතළ වූ ශිල්ප කලා පරිහානියක් ඇතිවී තිබෙන බව කිව යුතුය. බොහෝ සැදැහැවතුන්ට දැඩි ආගම භක්තිය මිස ශිල්ප කලා පිළිබඳ සැලකිය යුතු දැනීමක් හෝ හැඟීමක් නැත. ඒ නිසා ඔවුහු තමන්ට සිතෙන පරිදි පැරණි ගොඩනැගිලි සංස්කරණය කරවති. මේ මෙසේ නමුත් කැලණියේ හා දළදා මාලිගාවේත් අලුත් ගොඩනැගිලි තැනවීමේ දී සෑහෙන පමණ කල්පනාකාරී ව ක්‍රියා කර තිබෙනු දැක්ම සතුටට කරුණක් බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.අපේ රටේ අභිනව තැන්වල අභිනවයෙන් තනවනු ලබන බොහෝ වැදගත් ගොඩනැගිලි ද සිංහල සම්ප්‍රදායෙන් ඈත් වන සේ නිමවීම බරපතළ පාඩුවක් බව කිව යුතු ය. මෑතදී නිම වූ මන්ත්‍රණ සභා ශාලාව, කොළඹ නගර ශාලාව වැනි ගොඩනැගිලි අපේ චිරාගත ශිල්ප කලාවට අනුකූලව තැනවීමට හොඳට ම ඉඩ තිබුණේ ය.එහෙත් ඒ සඳහා පෙරදිග ශිල්ප කලා පිළිබඳව කරුණු දත්තවුන්ගේ අනුශාසනා නො ලැබීම නිසා මේ පාඩුව සිදු වූ බව පෙනේ. මේ රටේ කෞතුකාගාරය පවා කෞතුක බඩු ගබඩාවක් මිස නිර්මාණ ශිල්පයෙන් පිරිපුන් ගොඩනැගිල්ලක් නොවේ. මේ කෙසේ වුවත් දැනට තනවා ගෙන යන ලබන විශ්වවිද්‍යාලයීය ගොඩනැගිලි මේ රටේ සම්ප්‍රදායට අනුව පිළියෙළ වෙතැ යි කවුරුත් බලාපොරොත්තු වෙති. මේ බලාපොරොත්තුව සඵල වන ලකුණු දැනටමත් එහි දක්නට ද ඇත.ලංකාවේ ප්‍රතිමා ශිල්පීන් විසින් මැටියෙන්, ගලෙන්, ලීයෙන්, ලෝහයෙන් මෙන්ම ඇත් දතින් ද නෙලන ලද රූප හා කැටයම් අපමණ ය. එහෙත් පසුවුණු ශතවර්ෂ කීපය තුළ මේ ශිල්පය මෙන්ම ශිල්පීන්ගේ තත්ත්වයත් බොහෝ දුරට පිරිහී ගියේ ය.මේ නිසා මෑත කාලයේ කරන ලද ඇතැම් කර්මාන්ත සඳහා පිට රටවලින් – විශේෂයෙන් ඉන්දියාවෙන් - ශිල්පීන් කැඳවන්ට වූ බව පෙනේ. දළදා මාලිගාවේ අධිකාරීහු කීප විටක් ම මේ ගැන කරුණු සඳහන් කළහ. මේ පිළිබඳ වූ චිරාගත පළපුරුදුකම් ඇතියවුන් උඩරට නොයෙක් පළාත්වල සිටින බව ප්‍රසිද්ධ නමුත් ඔවුන්ගේ තත්ත්වයත් එතරම් උසස් නැති බව මෙයින් පෙනේ. මෙයට කළ යුතු පිළියම් වහා නොකළොත් ශ්‍රී ලංකාවේ උසස් ප්‍රතිමා ශිල්පීන් මුළුමනින් ම නැති වී යන්ට පිළිවන..
NEWS
නවින පන්නයේ කැබ්රථයකින් දඩයමේ ගොස් ගෝනෙකු මැරු දොළොස් දෙනෙකු සැකපිට අම්පාර වන සත්ව නිලධාරින් විසින් 22 අලුයම එකට පමණ බක්මිටියාව කටු කෑල වැව අසල වනයෙදි අත් අඩංගුවට ගෙන ඇත.අක්කරපත්තුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයෙකු අක්කරපත්තුව 20 කොට්ඨාසයේ සේවයේ නියුතු ග්‍රාම සේවා නිලධාරි වරයා සහ සිවිල් ආරක්ෂ නිලධාරියෙකු අත් අඩංගුවට පත් අය අතර සිටි. යතුරු පැදි දෙකක් සහ ගිනි අවියක් මොවුන් සතුව තිබි අත් අඩංගුවට ගෙන ඇත.ලැබුණු තොරතුරක් අනුව මේ වැටලිම සිදු කළ වන සත්ත්ව නිළධාරින් හට බක්මිටියාව යුද හමුදා කදවුරේ නිළධාරින් ද සහාය ලබා දි ඇත.මේ සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කරණ ලදි.මේ වැටලිම සදහා වන සත්ත්ව අඩවි ආරක්ෂක නිළධාරි ඩි.පි. සියාසිංහ මහතා වන සත්ත්ව අඩවි සහකාර නිළධාරින් වන එම්. රත්න සිර පෙරේරා, කේ. එල්. ඩි.පියරතන,බි .ආර්. ඒ.සම්පත්,කේ පි.එම්.කොඩිතුවක්කු,ඒ. එම්. එස්.අත්තනායක,ඒ .පි.ඩි.එල් .සංජිව,එච්.එල්.සි.ප්‍රදිප්,ඩබ්ලිව් .එම්.සමන් ප්‍රේමකිරිති,එච් .සංජිව යන නිළධාරින් සහභාගි විය..
NEWS
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවයේදී 2007, 2008 සහ 2009 වසර ත්‍රිත්වයේ ම විද්‍යාලයීය විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස ඉෂාරා මදුරංගී සම්මාන ලැබුවාය.ශ්‍රී ලංකා මේස පන්දු ශ්‍රේණිගත කිරීම අනුව වසර කිහිපයක් ම අංක 1 ක්‍රීඩිකාව ලෙස ඉදිරියෙන් පසුවෙන ඉෂාරා ජාතික මේස පන්දු සූරිය සහ ජාතික කනිෂ්ඨ මේස පන්දු සූරිය ලෙස අවස්ථා කිහිපයක දී ම සම්මාන දිනා ඇත. ඊට අමතරව ඇයගේ දක්‍ෂතා අතරට සාග් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග පදක්කම් ද ඇතුළත් වේ. මේ වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා ශාලාවේ දී පැවැත්විණි.මෙහිදී 2007 සහ 2008 වසර ද්විත්වයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස අමිල චාමිත් ප්‍රනාන්දු සම්මාන ලැබුවේය. ඔහු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේ්ණිගත ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම විදෙස් සංචාරවලට සහභාගි වී ඇත.වර්ණ ප්‍රදානෝත්සවයේ 2009 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ශශ්‍රී‍්‍ර ලංකා මේස පන්දු ශ්‍රේණිගත කිරීම අනුව වයස අවුරුදු 21 න් පහළ අංක 1 ස්ථානයට ශ්‍රේණිගතව සිටින චතුර විස්කම් සිරිවර්ධන සම්මාන ලැබුවේය. ඔහු පසුගිය වසරේදී ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙකි.
NEWS
ලංකාවට අවශ්‍ය සම්පූර්ණ එල්.පී. ගෑස් ප්‍රමාණය තව මාස 42කින් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වේ. ඒ සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව රුපියල් කෝටි 1500ක වියදමින් පුළුල් කිරීමටත් නවීකරණය කිරීමටත් පියවර ගනු ඇත.ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ කර ඇති මේ නව ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය එල්.පී. ගෑස් ලබාදීමට ඉඩකඩ සැලසේ.ඛනිජ තෙල් සංස්ථාවේ මේ නව වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 120ක වියදමින් කෙරවළපිටියේ ඉදිකළ ගෑස් පර්යන්තය මුළුමනින්ම වසා දැමීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථා ආරංචි මාර්ග අනාවරණය කරයි.මේ අනුව එම පර්යන්තයේ අබලිද්‍රව්‍යවල වටිනාකම පමණක් ඉතිරිවනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 130,000ක් වන අතර එය 2014 වනවිට 1, 50, 000 දක්වා වැඩිවනු ඇත.ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කර ගැනීම නිසා රුපියල් කෝටි 9750 ක් ඉතිරි කර ගැනීමට හැකි වේ. මේ නිසා පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් ආනයනයද මුළුමනින්ම නතර වනු ඇත.
NEWS
හොරණ උසාවියේ තෝල්කමුදලි ඊළඟ නඩුවේ පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ නම් හඬනඟා කියවීය. සෝමදාස පැමිණිලිකරු වූ අතර අසල්වැසියා වූ විජේපාල විත්තිකරු විය. පොලිස් නිලධාරියකු ද පැමිණිල්ලට සහාය වීමට පසෙකින් සිටියි. විනිසුරුතුමා - මොකක්ද මේ නඩුව?පොලිසිය - ගෙවල් බිඳුමක් ස්වාමීනි, මේ විත්ති කූඩුවේ සිටින තැනැත්තා පැමිණිලිකරුගේ ගේ බිඳලා දේපොල සොරාගෙන.විනිසුරුතුමා - තමා මේ ගේ බිඳීම පිළිබඳව වැරැදිකරු ද, නිවැරැදිකරු ද?විජේපාලගේ නීතිඥ මහතා - අපි ඒ ගේ බින්දෙ නැහැ ස්වාමීනි, අපි නිවැරැදියි.විනිසුරුතුමා පොලිස් නිලධාරියා අමතා, මේ සම්බන්ධව සාක්‍ෂි තිබෙනවාද?පොලිසිය - ඔව් ස්වාමීනි, අපේ බල්ලා ඔහුගේ නිවෙසට ගියා.විත්තිකරු - අනේ හාමුදුරුවනේ, ඒ සිද්ධිය සිදුවුණු හැටි ඇත්තම කියන්නම්. අපේ ගේ මේ පැමිණිලිකරුගේ නිවෙසට අල්ලපු නිවෙසයි. එදා පොලිසියෙන් බල්ලා අරගෙන එන විට අපේ බල්ලා බුරාගෙන පැන්නා.මම අපේ බල්ලා අල්ලාගෙන ගෙට අරගෙන ගියා. ඒත් ස්වාමීනි, ඌ අපේ ජනේලයකින් ඔළුව එළියට දමාගෙන පොලිස් බල්ලාට බිරුවා.එය දැකපු පොලිස් බල්ලා රාළහාමිවත් පෙරළාගෙන අපේ බල්ලා සිටින දිහාවට දුවගෙන ආවා. ඌ ආවේ හොරු අල්ලන්න නෙමෙයි, බල්ලත් එක්ක පොරකන්නයි. රාළහාමි පෙරලුණු නිසා කේන්තියට මාව අල්ලගෙන ආවා.උසාවියේ සිටි සියලු දෙනාටම මෙන්ම විනිසුරුතුමාට ද සිනහ මතුවිය.ඔහුගේ ප්‍රකාශය පිළිබඳව දීර්ඝව විමසා බලා ඔහු පැවසු දේ සත්‍ය බව වැටහීමෙන් පොලිසියට තදින් අවවාද කර විත්තිකරු නිදහස් කෙරිණි..
NEWS
යාපනය ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය සහ යාපනය වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිමහත්මියගේ සහභාගීත්වයෙන්ඊයේ (14)ජනතා අයිතියට පත් කෙරිණි.වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය එම ස්ථානයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ විවෘත කරනු ලැබීය.වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 70 ක් වන අතර ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය සඳහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 500කි.මෙතෙක් 40% ක්ව පැවති ඩෙල්ෆ් දූපතේ විදුලියනය නව විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමඟ 99% දක්වා ගෙන ඒමට හැකි වී තිබේ.
NEWS
මහනුවර මහ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට මවක් ඊයේ (15) දරුවන් පස් දෙනකු බිහි කළාය. පිරිමි දරුවන් තිදෙනකුට හා ගැහැනු දරුවන් දෙදෙනකුට උපත ලබා දෙමින් සිය දිවියේ ප්‍රථම වරට උතුම් මව් පදවිය මෙසේ හිමිකර ගත්තේ කෑගල්ල හෙට්ටිමුල්ලේ පදිංචි දිලිනි රසාංගිකා ශ්‍යාමන්ති නැමැති 29 හැවිරිදි කාන්තාවයි.කෑගල්ල හෙට්ටිමුල්ලේ ශිලන්ත විජේපාල (33) දරුවන්ගේ පියායි. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන ඔහු පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි.දරුවන් පස් දෙනා අතරින් මුලින්ම දියණියන් දෙදෙනා මෙලොව එළිය දැක තිබේ. පෙරවරු 7.45ට එක් දියණියක්ද 7.46ට දියණියක් හා පුතෙකුද උපත ලබා ඇත. අනෙක් පුතුන් දෙදෙනා පෙරවරු 7.47ට හා 7.49 ට උපත ලබා තිබේ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය කපිල ගුණවර්ධන, වෛද්‍යවරුන් වන මොහොමඩ් රිෂාඩ්, පුෂ්පකාන්තන්, ප්‍රදීප් කුමාරසිංහ, දමයන්ත වතුහේවා, පුෂ්පා කුමාරි, මංජුල, එස්. දිසානායක මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මේ සිසේරියන් සැත්කමට දායක වූහ.මාස හතෙන් උපත ලද මේ දරුවන් අතරින් දෙදෙනෙකු ග්‍රෑම් 1000 බැගින්ද සෙසු දරුවන් ග්‍රෑම් 950, 850 හා 500 බැගින්ද වන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. එපිටකුඹුර මහත්මිය පැවසුවාය.අඩු බර හේතුවෙන් මේ දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළු කළ බවත් දරුවන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇය කීවාය.වෛද්‍යවරුන්වන ගයාන් රත්නතිලක, ලසන්ත ජිනදාස, අනුරාධ චන්ද්‍රසිරි, ජනක සෝමරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දරුවෝ ප්‍රතිකාර ලබති.මෙයට සති දෙකකට පෙර රෝහල්ගතව ප්‍රතිකාර ලද මව නියමිත දිනට පෙර දරුවන් බිහි කළේ හිටි හැටියේම උල්බ තරලය වෑස්සීමට පටන්ගත් නිසා බවත් ඇය ගැබ් ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මද සරු භාවයට ප්‍රතිකාර ලබාගත් බවත් පැවසූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කපිිල ගුණවර්ධන මහතා එම ඖෂධවල බලපෑමෙන් මෙලෙස දරුවන් කිහිප දෙනෙකු පිළිසිඳ ගැනීමට ඉඩ ඇති බවත් කීය.දරු උපත සිදුවීමත් සමඟ එහි ගිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රුපියල් 10000ක මුදලක් මවට ලබා දුන් අතර දරුවන් පස් දෙනා වෙනුවෙන් ගිණුම් 05ක් විවෘත කරදීමට පියවර ගන්නා බව පැවසීය..
NEWS
හය වතාවක් රන් පදක්කම් දිනූ ක්‍රිස් හෝයි පාපැදි තරග බිමෙන් පෙරේදා සමුගත්තේය.බ්‍රිතාන්‍යයේ වඩාත්ම විශිෂ්ට ඔලිම්පික් ක්‍රීඩකයා වෙමින් තම රට පාපැදි ක්‍රීඩාවේ ඉහළම තලයට ගෙන යාමේ කාර්යයේදී තමා තමාගේ “වෑයමේ හා ශක්තියේ සෑම අවුන්සයක්ම” වැයකර අවසන් බව 37 හැවිරිදි හෝයි ප්‍රකාශ කරයි.“මම මගේ සෙවනැල්ලක් ලෙසින් ක්‍රීඩාවේ යෙදී සිටින්න කැමති නැහැ”.ප්‍රංශ සවාරිය පාපැදි තරග ශූර හා හත් වතාවක් ඔලිම්පික් පදක්කම් දිනා ගත් බ්‍රැඩ්ලි විගින්ස් සමග හෝයි, බ්‍රිතාන්‍යයේ සුළු ක්‍රීඩාවක් ලෙසින් පැවැති පාපැදි ක්‍රීඩාව එරට ජනප්‍රිය ම ක්‍රීඩාවක් බවට පත් කිරීමට මුල් විය.2008 ඔලිම්පික් උළෙලේ පාපැදි ඉසව් තුනක් ජයග්‍රහණය කරමින් හෝයි වසර සියයක් ඇතුළත එක් ඔලිම්පික් උළෙලක රන් පදක්කම් තුනක් දිනා ගත් ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්විය..
NEWS
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර චෙන්නායි නුවර පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අන්තර්ජාලය මගින් නීතිවිරෝධි ඔට්ටු තැබිමේ නිරතවූ පුද්ගලයකු හර්යානා ප්‍රාන්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.අන්තර් ජාතික ක්‍රිකට් තරග ඔට්ටුතැබීමේ කල්ලියක සාමාජිකයකු බවට සැක කෙරෙන මේ පුද්ගලයා සතුව තිබූ ජංගම දුරකතන 140ක් ද, ලැප්ටොප් පරිඝනකයක් සහ රූපවාහිනී යන්ත්‍රයක් ද අත් අඩංගුවට ගෙන තිබේ..
NEWS
ලෝක පාපන්දු සූරතා 2 ක් සිය පිලට හිමිකර දීමට දායක වූ බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩෝ ක්‍රීඩාවෙන් සමුගන්නා බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේය. “මට තවදුරටත් ක්‍රීඩා කරන්න බැහැ” මේ වනතුරුත් ලෝක පාපන්දු තරගමාලා ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයාගේ වාර්තාවට හිමිකම් කියන 34 හැවිරිදි රොනල්ඩෝ බ්‍රසීල පුවත්පත් වන“Estado de Sao paulo” පුවත්පතට පැවසීය.“තවදුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීමට මට අවශ්‍යයි. නමුත් දැන් මගේ පහරවල් මට ඕන විදියට එල්ල කරන්න අසීරුයි. මානසිකව මම ශක්තිමත් වුණත් ශාරීරිකව මට ක්‍රීඩාවේ තවදුරටත් නිරත වෙන්න අපහසු බවක් මට දැනෙනවා” ඔහු ප්‍රකාශ කළේය.මේ වසර අවසානයේදී පාපන්දු පිටියෙන් විශ්‍රාම ගන්නා බව රොනල්ඩෝ මීට පෙර පවසා තිබිණි. නමුත් වසර ආරම්භයේදීම තමාට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවී ඇතැයි ඔහු දැන් පවසන්නේය. ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක පේලේ ගෙන් පසුව බ්‍රසීලයෙන් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සැලකෙන රොනල්ඩෝට ජගත් පාපන්දු සම්මේලනයේ 1996, 1997 සහ 2002 වසරවලදී හොඳම ක්‍රීඩකයා සම්මානය හිමි විය..
NEWS
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පළාත් පාලන ප්‍රබලයෝ දෙදෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනිති.ද්‍රවිඩ ජාතික සන්ධානයේ වඩමාරච්චි ප්‍රාදේශීය සභාවේ උප සභාපති සාන්ත සොරූබන් සහ පේදුරුතුඩුව ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති එම්. ලෝගසිංහම් යන මහත්වරු රජයට සහාය පළ කරමින් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22) මුණගැසී සාමාජිකත්වය ලබා ගත් අතර ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේ දී සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වීමට ද ප්‍රතිඥා දුන්හ.උතුරේ ජනතාවගේ ජන ජීවිතය නංවාලමින් එම ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් එතුමන් සමඟ එක්වූ බව ඔවූහූ මෙහි දී ප්‍රකාශ කළහ.කිසිදා නොවු සංවර්ධනයක් අද උතුරු පළාතට හිමිව ඇති බව ප්‍රකාශ කළ ඔවූහූ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ සිට එම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තමන්ට කිසිදා අවස්ථාවක් නොලැබෙන බවත් ජනාධිපතිතුමා සමඟ එක්වෙමින් එම ජනතාවට සේවය කිරීමට තීරණය කළ බවත් කියා සිටියහ.වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු වන සාන්ත සොරූබන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද උතුරේ සිදුකෙරෙන සංවර්ධනය විශ්මය ජනක බවයි. ඊට සහාය වීම මාතෘ භූමියට ආදරය කරන සියලූ දෙනාගේ යුතුකම බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුමිත් විජයසිංහ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් ඒ.ආරියරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ..
NEWS
අධික වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු ගැසීමෙන් පෙරේදා (18) සවස මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුව මැදවච්චිය පදිංචි 41 හැවිරිදි ආර්. ඒ. ඒ. ලලිතා නමැති කාන්තාවයි.මෘත දේහය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව ඥාතීීන්ට භාරදීමට නියමිතව ඇත. වැඩිදුර පරීක්‍ෂණ ගල්ගමුව පොලීසිය විසින් සිදුකරනු ..
NEWS
හොරණ මැතිවරණ බල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය සභා සීමාව ඇතුළත පිහිටි උප නගරයක් වන ගෝනපොළ හන්දියෙහි සංකීර්ණ ගැටලු රාශියක් දිගු කාලයක පටන් පවත්නා බැව් ප්‍රදේශවාසීහු පවසති. අවම වශයෙන් පිටතින් පැමිණෙන කෙනකුට වැසිකිළි පහසුකම් හෝ නැතැයි ඔව්හු පෙන්වා දෙති.කොළඹ - හොරණ (මා. අංක 120) ප්‍රධාන මාර්ගයෙහි ප්‍රසිද්ධ ස්ථානයක් වන ගෝනාපොල උප නගරයේ බස් නැවතුම්පොළක් නැත.මාර්ග අංක 120 ට අයත් මාර්ගය පළල් කිරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු අවසන් කර වන්දි ගෙවිය යුතු අයගේ නාම ලේඛනද සකස් කර අවුරුදු කීපයක් ගතව ඇතත් මාර්ග සංවර්ධනයක් මෙතෙක් සිදුවී නැති බව ප්‍රදේශවාසීහු පවසති. ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කරනු ලබන පාමන්කඩ සිට පොකුණුවිට දක්වා පොකුණුවිට, කුඹුක, (බටහිර සහ නැගෙනහිර) ගෝනාපොළ හා කෝරලඉම ගම්වල පිහිටි හෙක්ටයාර් 918761 වූ ඉඩම් කැබලි 508 ක් ඉඩම් අත්පත් කර ගැනීමේ ව්‍යාපෘති විධිවිධාන යටතේ හඳුනාගෙන ඇතැයි හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.මාර්ගය පළල් කිරීම යම් යම් හේතූන් මත අතරමග නතර වී ඇත. කඩ වීදි තුනක් අතර පිහිටි සතරමං හන්දියෙහි නිතිපතාම උදේ සවස වාහන තදබදයක් පවතී. මාර්ගය පළල් කිරීමේදී පැරණි ගොඩනැගිලි කීපයක්ම කඩා බිඳ දමන්නට සිදුව ඇත. වන්දි ලබා ගැනීමේ ගැටලුව මත නව ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රමාදව ඇතැයි ඔවුහු පවසති.ගෝනාපොළ හන්දියෙහි දැනට පවත්නා ගැටලු ගැන පුවත්පත් අලෙවි නියෝජිත සිසිල ගුණවර්ධන මෙසේ කීවේය.2008 වසරේදී මේ පාර පළල් කරන්නට ඉඩම් කට්ටි පවරා ගත්තා. අපි අවශ්‍ය බලධාරීන්ට කීවා. නමුත් මේ දක්වා එහි පළල් කිරීමේ කටයුතු ආරම්භ කර නෑ. මාර්ගය ඉතාම පටුයි. නිතර අනතුරු සිදු වනවා. වෙළෙඳ සල්වලට භාණ්ඩ ගෙනෙන වාහනයක් නතර කර ගන්නට තැනක් නෑ. උදේට ගෝනාපල හන්දියෙන් කොළඹට පිටත්වන බස් තුනම දැන් හරවන්නේ නෑ. නියමිත පාසල් බස් රථය නෑ.වෙළඳ ව්‍යාපාරික ඒ. එන්. ඩී. ජයරත්න මහතා - තුංමං හන්දිය මැද ඇති ගැට්ට නිසා සුළු අනතුරු රාශියක් සිදු වෙනවා. මාර්ගය කාපට් කිරීමේදී අවිධිමත්ව සංවර්ධනය කිරීම නිසා මේ තත්ත්වය ඇති වුණේ.වසන්ත ගංගොඩවිල මහතා - උදේ 5.00 – රාත්‍රී 12.00 දක්වා මේ හන්දිය ජනාකීර්ණයි. බදාදාට සතිපොළ. පළන්හෙරාව මහා විදුහල තිබෙන්නේ හන්දියට ඉතා සමීපයෙන්. උප නගරයක් නිසා පිටතින් පැමිණෙන අයත් ඉන්නවා. නමුත් මේ හන්දියට පොදු වැසිකිළියක් නෑ. දරුවෙකුට වතුර ටිකක් බොන්න ජල කරාමයක් නෑ.හිටපු ප්‍රා / සභා මන්ත්‍රී අජිත් නවගමුව මහතා -හොරණ ප්‍රාදේශීය සභාවෙන් (ගෝනාපොල හන්දිය) පලන්නොරුවට හෝ කුඹුක සුසාන භූමියට ආදාහනාගාරයක් ලබා දෙන්නට අනුමත වෙලා තියෙන්නේ.කාලයක් තිස්සේ පවත්නා මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ කවදා දැයි ප්‍රදේශවාසීහු විමසති. ත්‍රිවිල් රථ 25 ක් පමණ ඇතත් ඔවුන්ට වාහන නතර කිරීමට සිදුව ඇත්තේ ප්‍රධාන මාර්ගයේ පැත්තක බැව් ඔවුහු පවසති. බදාදා සතිපොළ දිනවලට ගෝනාපොල හන්දියේ පවත්නා තදබදය නිසා වාහන ගමනාගමනයද අවහිර වන අවස්ථාද එමටයි.  .
NEWS
අන්තර් සමාජ ඩයලොග් පළමු කොටසේ ලීග් රගර් තරගාවලියේ කුසලාන වටයේ තරග ආරම්භ කරමින් යුද හමුදාවට එරෙහිව ලකුණු 71-43ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය. කණ්ඩායම් 6ක් සමග ආරම්භ කළ කුසලාන වටය යටතේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 45-22ක් ලෙස ඉදිරියෙන් පසුවූ නාවික හමුදා පිල තරගය සාර්ථකව නිමාකළේ ගෝල් 9ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සමගිනි. යුද හමුදා කණ්ඩායම ගෝල් 5ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළේය. ලබන මස 23 වැනිදා දක්වා පැවැත්වෙන කුසලාන වටයට පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හයට පැමිණි කණ්ඩායම් සුදුසුකම් ලබාගත්හ. ඒ අතරට නාවික, හැව්ලොක්ස්, මහනුවර, අප්කන්ට්‍රි ලයන්ස්, සී.ආර්. සහ යුද හමුදා කණ්ඩායම එක්වී සිටිති.හෙට පැවැත්වෙන තරග - හැව්ලොක්ස් - සී.ආර්. (සී.ආර්.පිටිය), මහනුවර - අප්කන්ට්‍රි ලයන්ස් (නිත්තවෙල).
NEWS
පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමය මෙහෙයවන දිස්ත්‍රික් එල්ලේ තරගාවලිය මේ මස 28වැනිදා ආරම්භ කෙරේ. මූලික වටයේ තරග එදින වෙන්නප්පුව කොට්ඨාසයේ සහනගම ගැමුණු , උදාසිරිගම මිල්රෝයි ප්‍රනාන්දු , ලුණුවිල ප්‍රදීප, දංකොටුව ජයකොඩි හා මැල්ලව සේනානායක යන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එල්ලේ ක්‍රීඩා සමාජ 106ක් මේ තරගාවලියට සහභාගි වන අතර එම ක්‍රීඩා සමාජවලට ඇඳුම් කට්ටල ලබාදීම වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් සිදුකරනු ලබයි.‍තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම්වලට මුදල් ත්‍යාග පිරිනමන බවත්, විවිධ දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ද ත්‍යාග පිරිනමන බවත් සංවිධායකයන් දන්වා සිටිති..
NEWS
හෙක්ටර් බෙත්මගේ ප්‍රතිභා සංස්කෘතික පදනම මගින් සංවිධාන කරන පාපැදි තරගය හෙට (17) තලංගම කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අසලදී පෙ.ව 8.00ට ආරම්භ වේ.තරගය කොස්වත්තෙන් ඇරඹී මාලඹේ, අතුරුගිරිය, ඔරුවල, කඩුවෙල, අංගොඩ, කොටිකාවත්ත අයි.ඩී.එච්. අඹගහ හංදිය, අග්ගොන හංදියෙන් ආරම්භක ස්ථානයට ලගාවන අතර වට 4කින් යුක්ත වේ. කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්වීමට නියමිතය.  බියගම පිහිනුම්, කිමිදුම් හා ජිවිතාරක්ෂක සංගමය හා සපුගස්කන්ද යොෂිඩා පිහිනුම් පාසල එක්ව සංවිධාන කරන පිට පළාත් පිහිනුම් තරගාවලිය අද (17) සහ හෙට (18) දෙදින සපුගස්කන්ද යොෂිඩා පිහිනුම් තටාංගනයේදී පැවැත්වේ.තරග ඉසව් 64කින් තරගාවලිය සමන්විත වන අතර තරගාවලියට ඉදිරිපත් වීමට පාසල් හා පිහිනුම් සමාජ සඳහා අවස්ථාව ඇත. වැඩි විස්තර 0714991999 (තිලක් රත්නකුමාර) මගින් ලබාගත හැකිය.කඩවත රෙන්සි නිශාන්ත පදනම සංවිධාන කරන විවෘත සය සමාජික සැහැල්ලු පන්දු දිවා-රාත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (17)-හෙට (18) දෙදින කඩවත කිරිමැටියාගාර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ ශූරතාව සඳහා කුසලානය සමගින් රු.50000ක්, අනුශූරතාවට කුසලානය සමගින් රු.25000ක් හිමිවන අතර තෙවැනි හා සිවුවැනි ස්ථාන සඳහා රු.10000 බැගින් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසිත.මීට අමරතව තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා හා වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා සඳහාද මුදල් ත්‍යාග පිරිනැමේ. වැඩි විස්තර දු.ක 0717432190, 0779806396 (රජිව් ලංකා) මගින් ලබාගත හැකිය.ගම්පහ දිස්ත්‍රික් එල්ලේ ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ අරමුණින් ජාඇල වැලිකඩ ෂර්ලි පෙරේරා සංවිධනය පවත්වන එල්ලේ තරගාවලිය හෙට (18) සිට ලබන මස 29 දක්වා සති අන්තයන්වලදී ජාඇල වැලිකඩ වික්ටරි ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.පළාත් සභා මන්ත්‍රී සුනිල් විජේරත්න අභි‍යෝගතා කුසලානය සඳහා පැවැත්වෙන තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ තරග හෙට (18), 20 හා 25 දිනවලදීත් ‘ඒ’ ශ්‍රේණියේ තරග ලබන මස 1වැනිදා සිට 8, 15, 22, 29 දිනවලදීත් පැවැ‍ත්වේ.තරගාවලියේ ප්‍රථම ස්ථානයට කුසලානය සමගින් රු.50000ක්ද,දෙවැනි ස්ථානයට කුසලානය සමගින් රු.25000ක් ද හිමිවන බව සංවිධායකයෝ පවසති. වැඩි විස්තර දු.ක 07760588890 (ෂර්ලි පෙරේරා) මගින් ලබාගත හැකිය. ‍   .
NEWS
ශ්‍රී. ල. නි. ප. යේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වශයෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ජනාධිපතිවරණ සටන නිවැරැදි ගමන් මගක් ඔස්සේ ජයග්‍රහණය කිරීම අපේ පක්ෂයේ වගකීමක්.ඒ කාර්ය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හොරණ ප්‍රචාරක කාර්යාලය අද අපි ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක කර්මාන්ත සහ කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම මහතා හොරණ මූණගම දී පැවසීය.ඇමැතිවරයා එසේ පැවසුවේ බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හොරණ නගර සභාවේ විපක්ෂ නායක රෝහණ කුලසිරි මහතාගේ නිවාස පරිශ්‍රයෙහි හොරණ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුවේදීය.කුමාර වෙල්ගම මහතා මෙසේද පැවසීය.2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්නට හොරණ ඡන්ද බල ප්‍රදේශය ප්‍රධානව කළුතර දිස්ත්‍රික්කය පුරා ප්‍රගතිශීලි බල කඳවුර නියෝජනය කළ මහා සංඝරත්නය විශාල කැප කිරීමක් කළා.මහින්ද රාජපක්ෂ මහතාට එදා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට පෙරමුණ ගත් මහා සංඝරත්නය මේ වසරේදීත් එම ජයග්‍රහණය උදෙසා පෙළ ගැසී සිටීම අපට මහත් ධෛර්යයක්.එම වකවානුවේදී සමහරු කකුල් වලින් ඇද්ද ආකාරය අපට හොඳට මතකයි. මේ ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්කයේ අප සියලු දෙනා එකාවන්ව සටන මෙහෙයවනු ලබනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 65 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදීමයි අපේ ප්‍රධාන අරමුණ.ජාතිය ගොඩනැගීමේ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අපි නැඟෙනහිරින් ආරම්භ කරපු මැතිවරණ මෙහෙයුම විජයග්‍රහණයෙන් අවසන් කළේ දකුණු පළාතෙන්. සියලු පළාත් සභා අපි විජයග්‍රහණය කළා. මේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට සිට ගෙන සන්ධානයට එරෙහිව ක්‍රියා කළ බව ජනතාවට රහසක් නොවෙයි.අද සරත් ෆොන්සේකාට දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ. මංගල සමරවීර ඛ්යන්නේ බොරුවෙන් ජීවත් වෙන්න උපන් කෙනෙක්. අද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ මර ඇඳේ. රනිල් වික්‍රමසිංහ - සෝමවංශ අමරසිංහ එක වේදිකාවේ ඉන්න කොට රෝහණ විජේවීර වලෙන් නැගිටලා ඇවිත් ප්‍රශ්න කරන්න බැරි නෑ.ඉංජිනේරු සේවා ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ලබා ගත්තේ කවුරුද කියන්නට අවශ්‍ය නෑ. ඒක බුද්ධිමත් ජනතාව දන්නවා. ලෝ්කයෙස් කිසිදු රටක පැවැති ත්‍රස්තවාදය පරාද කරන්නට බැරි වුණා. ශ්‍රී ලංකාවේ ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබා ගත්තා. එහි ගෞරවය ලැබිය යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රධාන ආණ්ඩුවටයි. මේ සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ පුවත්පත් සඟරා මගින් ඇගැයීම් කළා.සරත් ෆොන්සේකා සිටින්නේ දේශද්‍රෝහී පිරිසක් එක්ක. ගැලවීමේ හමුදාවටවත් සරත් ෆොන්සේකා සුදුසු නෑ කීව මංගල සමරවීර අද ජෙනරාල්ගේ ඡන්ද ව්‍යාපාරයේ සෙන්පතියා.අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතාද මෙහිදී කතා කළේය.බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මීවනපලානේ සුමේධ නාහිමි මාහියන්ගල විහාරාධිපති උඩුගල කන්දේ හේමාලෝක හිමිවරු අනුශාසනා පැවැත්වූහ.
NEWS
පල්ලේවෙල නගරයේ පානීය ජල යෝජනා ක්‍රමය ලබන වසරේ ක්‍රියාත්මක කරන බව මීරිගම ප්‍රාදේශීය සභාව පවසයි.මේ වසරේ සභාවේ අරමුදල් යොදවා ළිඳ කපා බැඳ ඇති අතර ලබන වසරේ එහි ජල ටැංකිය ඉදිකර නළ පද්ධතිය එළීමට සැලැසුම් කර තිබේ.මීරිගම ප්‍රාදේශීය සභාවේ නිපදවන කොම්පෝස්ට් පොහොර යොදා පල්ලෙවෙල උප කාර්යාල භූමියේ කාබනික ගොවිපළක් ආරම්භ කිරීමට ද සැලැසුම් කර ඇතැයි මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ම. ආ. පියතිලක පැවැසීය..
NEWS
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පොළොවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණින්ද, ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණයක් අත්කර ගැනීමේ අරමුණින්ද යුතුව අද බොක්සිං දිනයේ මෙල්බර්න් ක්‍රිකට් කෙළිබිම ට පිවිසෙති.දෙපිල අතර ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ අද ඇරැඹෙන්නේ දෙවැනි තරගයයි. ශ්‍රී ලංකාව පරාජය වූ හොබාට් හි පළමු තරගයේ අවසන් දිනය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉතාමත් අසීරු එකක් විය. එහෙත් මෙල්බර්න් තණතීරුව දෙපිල ට ම සාධාරණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙල්බර්න් තණතීරුවේ තණකොල දිස්වන අතර මේ නිසා ම ශ්‍රී ලංකා වේග පන්දු බළඇණිය පිළිබඳව යළි කල්පනා කර බැලීමට තේරීම් නිළධාරීන් පෙළඹීමට ඉඩ තිබේ. එය එසේ වුවහොත් වේග පන්දු අංශයේ වෙනසක් සිදු වෙමින් ධම්මික ප්‍රසාද් හා නුවන් ප්‍රදීප් කරළිය ට පිවිසීමට ඉඩ තිබේ.කෙසේ වෙතත් අද කාලගුණික හා තණතීරුවේ තත්ත්වය අධ්‍යයනය කරන තුරු කිසිම තීරණයකට එළැඹීමට ඔවුන් ඉක්මන් නොවනු ඇත.කඩුලු ලබා ගැනීමට සමත් වන්නේ කුමන වේග පන්දු යවන්නා ද යන්න ශ්‍රී ලංකා කඳවුරේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබේ.ඵලදායී වේග පන්දු ප්‍රහාරයක පෙරමුණ ගැනීමට කෙනෙකු නොසිටීමේ අඩුපාඩුව ඔස්ට්‍රේලියානු භූමියේ ජයග්‍රහණයක් අත්කර ගැනීමේ ශ්‍රී ලංකාවේ නොහැකියාව පිටුපස තිබෙන නොතකා සිටිය නොහැකි තරම් බලවත් සාධකය වී තිබේ.අද මෙල්බර්න් දේශගුණය යහපත් වනු ඇතැයි වාර්තා වේ. ශීත දේශගුණයෙන් ඇරැඹෙන දිනය දහවල් වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාව ට උචිත වන පරිද්දෙන් මඳක් උණුසුම් වනු ඇත. මේ ටෙස්ට් තරගයේ ඉරණම කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම විසින් පාලනය කෙරෙනු ඇත.නායක මහේල ජයවර්ධන හා හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන අවසන් අවස්ථාව මෙය වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් මේ තරගය අමරණීය එකක් කර ගැනීමට මේ පළපුරුදු පිතිකරුවන් තිදෙනා සෑම උත්සාහයක් ම ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.ඔවුන් පිතිකරණයේ සාර්ථක වුවහොත් තරගයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව ට ලැබෙනු නොඅනුමාන ය.අද ඇරැඹෙන තරගය සඳහා වන ප්‍රවේශ පත් සියල්ල විකිණී අවසන් ය. හැත්තෑ දහසකට අධික පිරිසක් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය ට රොද බැඳ ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මින් වැඩි දෙනා මෙහි සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වනු ඇත.හොබාට් හි ලැබූ පරාජය පසෙක දමා, කිසිවෙකුට දෙවැනි නොවන හැඟීමකින් යුතුව මහේල ජයවර්ධන ගේ කණ්ඩායම අද පිටියට පිවිසිය යුතු වෙයි. ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තරගය ආරම්භයේ සිට ම ඔවුන් වග බලා ගත යුතුය. ජයග්‍රහණය පැමිණෙන්නේ අභියෝග කරන්නන් වෙත පමණි..
NEWS
කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ඊයේ දෙවැනි දිනටත් පැවැති 131 වැනි රාජකීය - සාන්ත තෝමස් නිල් මහ සටනේදී සාන්ත තෝමස් ක්‍රීඩකයෝ ප්‍රථම ඉනිමට ලකුණු 314 ක් ලබා රාජකීය විදුහලට ප්‍රබල පිළිතුරුක් ලබා දුන්නේය.රාජකීය විදුහල ප්‍රථම ඉනිමේදී කඩුලු 9 ක් දැවී ලකුණු 283 ක් ලබාගැනීමට සමත් විය.දෙවැනි දිනය නිමාවෙද්දී රාජකීය විදුහල දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටියේය. සාන්ත තෝමස් විදුහලේ ඉනිමට අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර රාජකීය විදුහලේ ක්‍රිකට් නායක භානුක රාජපක්‍ෂ ලකුණු 68 ක් ලබාගැනීමෙන් අනතුරුව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 68 කට කඩුලු 4 ක් ද බිඳහෙලීම කැපී පෙනුණි.ශාන්ත තෝමස් ප්‍රථම ඉනිමට ජීවයක් එක්කළ දකුණතින් පන්දුවට පහරදෙන පසන් විජේවර්ධන ශතකයට ලකුණක් අඩුව තිබියදී දැවී යෑම ඊයේ දිනයේ අවාසනාවන්ත සිදුවීමක් විය.පසන් ලකුණු 99කට දවාගැනීමට මනීෂ තන්තිරිගොඩ සමත්විය. රාජකීය පිලේ නායක භානුක රාජපක්ෂ අතට උඩ පන්දුවක් ලබාදී පසන් දැවීයද්දී පන්දු 193කට මුහුණ දී සිටි අතර හතරේ පහර 13ක් එල්ල කළේය. නුවන් කවින්ද හා පසන් විජේවර්ධන තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.එය මේ මහා තරගයේ 3 වැනි කඩුල්ලට සාන්ත තෝමස් ක්‍රීඩකයන් දෙදෙනෙකු ලබාගත් හොඳම සම්බන්ධතාවද විය. මෙයට පෙර 1997 දී බී. යූ. කරුණාරත්න හා එච්. එන්. ජී. පීරිස් 3 වැනි කඩුල්ලට ලකුණු 136ක් ලබා තිබුණි.නුවන් කවින්ද පන්දු 111කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමග ලකුණු 86ක් ලබා ගත්තේය. එයට අමතරව අශාන් ප්‍රනාන්දු ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.සාන්ත තෝමස් විදුහලේ මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම විශාල වාසියක් ගෙන දීමට සමත් විය.කෙසේ වුවද අවසන් පිතිකරුවන් සිවුදෙනා ලකුණු 04කට දවාගැනීමට රාජකීය පන්දු යවන්නෝ සමත්වූහ. තරඟයේ අවසන් දිනය අදයි.රාජකීය විදුහල ප්‍රථම ඉනිම කඩුලු 9කට ලකුණු 283 (74) චලක බෝගොඩ 47 රමිත රඹුක්වැල්ල 27, ඉමාල් ලියනගේ 25, භානුක රාජපක්ෂ 68, වරුණ දිසානායක 45, මනීෂ තන්තිරිගොඩ 31 (දිනේෂ් වල්පිට 51/4, උමේෂ් ප්‍රනාන්දු 36/2) සාන්ත තෝමස් විදුහල ප්‍රථම ඉනිම ලකුණු 314 (99.2) පසන් විජේවර්ධන 99, නුවන් කවින්ද 86, අශාන් ප්‍රනාන්දු 44, (භානුක රාජපක්ෂ 68/4, ඉම්රාන් ඛාන් 46/2, මනීෂ තන්තිරිගොඩ 69/4)රාජකීය විදුහල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 20 යි.
NEWS
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් මහතාගේ කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරෝධය පළ කරයි.එම වාර්තාව සත්‍ය තොරතුරු සොයා බැලීමෙන් තොරව සකස් කළ ඒකපාර්ශ්වීය වාර්තාවක් බවට සන්ධානය පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් සන්ධානයේ මහලේකම් වරයා පවසන්නේ අප රටට යුද අපරාධ චෝදනා එල්ල කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවය.මහලේකම්වරයාට උපදෙස් දීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඒකපාර්ශ්වීය සාවද්‍ය තොරතුරු මත වාර්තාව ඉදිරිපත් කර ඇති බව පවසන සුසිල් ප්‍රේමජයන්ත් මහතා ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබුණේ නැති බවත් තිබුණේ මානුෂීය මෙහෙයුමක් බවත් පවසයි.ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදයෙන් ජනතාව මුදාගැනීම පමණයි. එම සංවිධානය ලෝකයේ රටවල් ගණනාවක තහනම් සංවිධානයක්. එහෙත් මේ වාර්තාවේ සඳහන් වන්නේ අවසන් අදියර ගැන පමණක් බවද ඇමැතිවරයා පවසයි.එල්. ටී. ටී. ඊ සංවිධානය වසර 30 තුළ සිවිල් ජනතාව, රාජ්‍ය නායකයන්, හමුදා නායකයන්, දේශපාලනඥයන් ඝාතනය කළ බවත්, එම සංවිධානය මෙරටින් තුරන් කිරීමට නායකත්වය දුන් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, රණවිරුවන් ඉලක්ක කර චෝදනා කිරීමත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මැදිහත්වීමට ප්‍රයත්න දැරිමත් දැඩි සේ හෙළා දකින බවත් පවසන මහලේකම්වරයා මෙම වාර්තා සකස් කිරීමේදී ඇතැම් දේශපානඥයින් මෙරටදී සහ විදේශවලදී වාසි තකා සිදුකරන ලද ප්‍රකාශද පදනම් වී ඇතැයි ද පවසයි.මේ වාර්තාව මඟින් ජාත්‍යන්තරයට ගෙනයන කුමන්ත්‍රණය පරාජය කිරීමට දේශහිතෛෂී සියලු ජනතාව එක්වන මෙන් ඉල්ලා සිටින මහලේකම්වරයා, මානුෂික මෙහෙයුමෙන් පසු ජනවර්ග අතර සමගියත් රටේ ආරම්භ කළ සංවර්ධනය නවතා දමා රට දෙකඩ කිරීමටත්, ජනවර්ග අතර බෙදීමක් ඇති කිරීමට කටයුතු කිරීම ජගත් සංවිධානයට තරම් නොවන බවත්, මහලේකම්වරයා පවසන අතර මේ සඳහා දේශප්‍රේමී සියලු ජනතාව සහ සන්ධානයේ හවුල්කාර පක්ෂවල පූර්ණ සහාය ලබාදෙන බවද පවසයි..
NEWS
අත්අඩංගුවේ පසුවූ මාධ්‍යවේදී තිස්සනායගම් මහතා නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා සතු විධායක බලතල ප්‍රයෝජනයට ගෙන මේ මාධ්‍යවේදියා නිදහස් කැර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කෙළේය.ප්‍රජාතන්ත්‍ර‍්‍රවාදය හා සමාජ සාධාරණත්වය ක්‍රියාවෙන් ද ලෝක ප්‍රජාව හමුවේ ඔප්පු කිරීමට හැකි වූ බවද ජී. එල්. පීරිස් මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (3) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ට හිතවාදී ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් මේ මාධ්‍යවේදියා විසි අවුරුදු සිර දඬුවමකට යටත්ව සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ඊයේ (3) නිදහස් කෙරිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා වැදගත් තීරණයක් ගනිමින් මාධ්‍යවේදී තිස්සනායගම් මහතා නිදහස් කළ බව කී විදේශ ඇමැතිවරයා එය ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවත් “ලෝක පුවත්පත් නිදහස් දිනය” සමරමින් එවැන්නක් සිදු කිරීම අතිශය වැදගත් බවත් කීය.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ වර්තමාන රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඔවුන්ගේ රාජකාරි කරගෙන යාම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවද ප්‍රකාශ කෙළේය.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ, අතිරේක ලේකම් රංජිත් උයංගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
NEWS
දරු ප්‍රසූතියේදී මවුවරුන්ට දැනෙන අධික ප්‍රසව වේදනාව සමනය කර සාමාන්‍ය තත්ත්වයෙන් තම දරුවා මෙලොවට බිහි කිරීමට අවශ්‍ය උපකරණ නිපදවීමට නවීන වෛද්‍ය තාක්ෂණය සමත්වී ඇත.නවීන ලෝකයේ බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන මේ වෛද්‍ය විද්‍යා තාක්ෂණය අප රටේ නගරබද රෝහල් දෙක තුනක පමණක් ක්‍රියාත්මකය. ඒ අතර රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ සූතිකාගාරයේද මේ උපකරණය භාවිතා කර දරු උපත් සිදු කරයි.ඒ නිසා රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ මාතෘ නිවාසයට ඇතුල් වන මවුවරුන්ට ප්‍රසව වේදනාවෙන් තොරව තම දරුවන් බිහි කිරීමේ භාග්‍ය උදාවී ඇත.මේ ක්‍රමය යටතේ දරු ප්‍රසූතිය සඳහා සූතිකාගාරයට ඇතුළුවන මවුවරුන්ට එම අවස්ථාවට මුහුණ දෙන විටදී විශේෂ උපකරණයක් මගින් වේදනාව සමනය කරන වායුවක් ආඝ්‍රහණය කිරීමට සලස්වනු ලැබේ.මේ වායුව ‘සුමිහිරි වායුව‘ නමින් හැඳින්වෙන අතර එම උපකරණය මවට ක්‍රියාත්මක කරගැනිමට හැකිවීමද විශේෂත්වයකි. මෙම වායුව ශරීරගත වීමෙන් පසුව මවට ප්‍රසව වේදනාවෙන් තොරව තම දරුවා බිහි කළ හැක.ඊට අමතරව මේ රෝහලේදී අලුත උපන් දරුවන්ගේ රුධිර සාම්පල විශේෂ පරීක්ෂණයකට යොමු කර මන්ද මානසික ආබාධ ගැන සොයා බැලීමද සිදු කෙරේ.උපතේදීම එවැනි ආබාධ ඇතැයි හඳුනා ගන්නා ළදරුවන්ට ඒ අවස්ථාවේ සිටම නිසි ප්‍රතිකාර ලබාදීමෙන් ඔවුන්ගේ බුද්ධිය ක්‍රමානුකූලව හා ඉක්මනින් වර්ධනය කර ගත හැකි බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි චමින්ද වීරකෝන් මහතා කීය.රෝහලට දරු ප්‍රසූතිය සඳහා පැමිණ සිය බිළිඳා සමග ආපසු නිවස බලා යන මවුවරුන් උණු වතුරෙන් නහවා පිරිසුදු කිරීමද සිදුවේ. ඒ සඳහා අවශ්‍ය තාප දහර (හීටර්) ඇතුළු උපකරණ පරිත්‍යාගශීලීන් විසින් ලබාදී ඇත.මේ කාර්ය සඳහා රෝහල් කාර්ය මණ්ඩලය, රෝහල් සංවර්ධන කමිටුව හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මෙන්ම දානපතියන්ද විශාල සහායක් ලබා දෙන බව වෛද්‍ය අධිකාරිවරයා කීවේය..
NEWS
රට පුරා පවතින වර්ෂාව නිසා ඩෙංගු රෝගය යළිත් හිස එසවීමේ අවදානමක් පවතියි.පසුගිය ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 620 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් අටදෙනෙකු මරණයට පත්වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 214 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 ක්ද ලෙස වාර්තා වී තිබේ.ඩෙංගු රෝගය වැළඳුණු ළමයින් 155 දෙනෙකු ඉකුත් ජනවාරි මාසයේ දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්ව තිබේ. ඉන් එක් ළමයෙකු මරණයට පත්ව ඇත.මැතිවරණ සමයට සමගාමීව ඩෙංගු රෝගය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් නොඑසේ නම් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවැසීය.විශේෂයෙන්ම කැළිකසළ නිසිලෙස බැහැර කර තමන් ජීවත්වන අවට පරිසරය පිරිසුදුව තබා ගන්නේ නම් ඩෙංගු උවදුරෙන් ජනතාවට මිදිය හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.මේ අතර කොළඹ නගරයේ ඩෙංගු රෝගයේ ගණත්වය වැඩිවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.මැද කොළඹ ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එය 69 කි.ජනවාරි මාසයේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 159 ක් වන බවත් එය ගිය වසරේ (2010) ජනවාරි මාසය හා සැසඳීමේදී අඩුවීමක් දක්නට ලැබෙන බවත් වෛද්‍ය කාරියවසම් මහතා පවසයි.ගිය වසරේ ජනවාරි මාසයේ දී කොළඹ නගරයෙන් පමණක් ඩෙංගු රෝගීන් 246 දෙනෙක් වාර්තා වී තිබේ.විශේෂයෙන් වෙනත් දිනවල වාර්තා නොවූ ප්‍රදේශවලින්ද ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, පාමංකඩ, කිරුළපන, කොටහේන, කොච්චිකඩේ හා අලුත්කඩේ යන ප්‍රදේශ ඒ අතර වේ.ජලය බැස යන අක්‍රමවත් කාණු පද්ධතිය, අපිරිසුදු පරිසරය, වැහි පීලි ඛ්ා අපද්‍රව්‍ය කළමනාකරණයක් නොවීම හේතුවෙනි. කොළඹ නගරයේ ඩෙංගු රෝගය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින බවද වෛද්‍ය කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි..
NEWS
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බව කියන චැනල් 4 නවතම වීඩියෝ පටය සම්පූර්ණ අසත්‍ය එකක් යැයි ලොව ඉහළම පෙළේ ඩිජිටල් තාක්ෂණ විශේෂඥයකු වන සිරි හේවාවිතාරණ මහතා පවසයි.මේ වීඩියෝ පටය මඟින් හෙළිදරව් වන කරුණු සාක්ෂිවලින් තොරව තහවුරු කරන්නට උත්සාහ ගෙන ඇති බව හෙතෙම සඳහන් කරයි.සිස්කෝ ග්ලෝබල් බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ ඩිජිටල් වීඩියෝ ප්‍රඩක්ෂන්හි සේවය කරන හේවාවිතාරණ මහතා ප්‍රකාශ කරන්නේ මෙය සම්පූර්ණ බොරුවක් බවයි.පසුගිය දා රැස් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු මේ වීඩියෝ පටය සත්‍යයක් බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනකු තහවුරු කර තිබිණ.මේ කුලියට ගත් විශේෂඥයන් කිසිදා සාක්ෂියකින් තොරව වීඩියෝ පටය සත්‍ය බව කීම පුදුමයට කරුණක් බව හේවාවිතාරණ මහතා පවසයි..
NEWS
තිස් වසරක් මුළුල්ලේ පැවැති යුදමය වාතාවරණය අවසන්වීම, යුද අවදානමක් ඇති රටවල්වල නාම ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම යනාදි කරුණු හේතුකොට රටේ ව්‍යාපාරික හා ආයෝජන අංශවල ඇති වී තිබෙන සුබවාදී තත්ත්වය නිසා ‘ජී. එස්. පී + සහනය’ නොලැබුණත් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.සමාජ, ආර්ථික සංවර්ධනයට සාමය පැවැතීම විශාල පිටුබලයක් බව කී කබ්රාල් මහතා එවැනි තත්ත්වයක් දැන් රටේ ඇති වී තිබෙන බව ද සඳහන් කෙළේ ය.රජය සහ එක්සත් ජාතික පෙරමුණ නායකයින් අතර නොබෝදා ඇරඹී සහයෝගිතා දේශපාලන ප්‍රවණතාවය හා සාකච්ඡා මෙන් ම මැතිවරණ ප්‍රතිඵල වලින් ලද දේශපාලන ස්ථාවර බව සැලකිල්ලට ගත් කළ නව ආයෝජකයින්ට විශ්වාසයකින් රටේ ආර්ථිකය පණගැන්වීමට ඉඩකඩ සැලැසී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.ජී. එස්. පී. + සහනය නොලැබුණහොත් අපේ ආයෝජකයින්ට අවාසි සිදුවන බවට නැඟෙන චෝදනාව බැහැර කළ කබ්රාල් මහතා,ගත වූ වසර පහ තුළ රටේ සර්ව ආර්ථිකයේ ඇති කළ පැහැදිලි වර්ධනය නිසා ඊට නොබියව මුහුණදීමට අපේ ආයෝජකයින්ට හැකියාව ලැබී ඇතැයි ද කීය.උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා යෙදවුම් පිරිවැය මත ඇති වන පීඩනය අඩුවීම, පොලී අනුපාත අඩු මට්ටමක පවතින නිසා ණය පිරිවැය අඩුවීම, විදේශ සංචිත ඉහළයෑම නිසා, ආයෝජකයින්ගේ විශ්වාසනීයත්වය වැඩිවීම සහ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා විනිමය වෙළඳපොළේ පුරෝකථනය කිරීම පහසුවීම සිදු වී ඇතැයි අධිපතිවරයා පැහැදිලි කෙළේය.ජී. එස්. පී. + සහනය අහිමි වී අපට සිදුවන ආවාසිදායක තත්ත්වය මඟහැරලීමට මේ වන විටත් රජය විශාල වැඩකොටසක් සිදුකොට ඇත.ඒ වැඩපිළිවෙළ යටතේ මෙරට ආයෝජකයින්ට අවශ්‍ය නම් දෙස් විදෙස් මූල්‍ය වෙළඳපොළවලින් අඩු හා සරල කොන්දේසි යටතේ අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දී තිබේ.රක්ෂණ අධිභාරය අහෝසි කිරීම, දේශපාලන ස්ථාවරත්වය ළඟාකරගෙන තිබෙන නිසා, ආයෝජකයින්ගේ විශ්වාසනීයත්වය වැඩිදියුණු වී තිබේ. ඒ අනුව ‘බය නැතිව‘ නව ආයෝජන සිදු කිරීමට ආයෝජකයින්ට ඉඩසලසාදී ඇත.මෙරට ආයෝජකයින්ගේ කර්මාන්ත ශාලාවල ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පියවර ගණනාවක් රජය ක්‍රියාත්මක කොට ඇත. ඉකුත් වසරේ යුරෝපයට යැවූ ඇඟලුම්වල වටිනාකම සම්පූර්ණ ඇගලුම් වටිනාකමින් සියයට 50ක් වේ.මින් සියයට 60ක් බදු සහනය ලබාගෙන ඇත. ඉතිරි 40ට බදු සහනය ලැබී නොමැත. යුරෝපා සංගමයෙන් මෙරටට දළ වශයෙන් යූරෝ මිලියන 78ක ශුද්ධ වාසියක් ලැබී ඇතැයි ගණන් බලා තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කෙළේය.
NEWS
වයඹ පළාත් කණ්ඩායමේ අපරාජිතබව බිඳ දමමින් අන්තර් පළාත් එක්දින තරගාවලිය යටතේ ඊයේ එස්.එස්.සී.පිටියේ පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම සමත්විය.පළමුව පන්දුවට පහරදුන් වයඹ පිල ඕවර 41කදී ලකුණු 188කට දැවීගිය අතර හුදෙකලා ඉනිමක නිරතවූ කෝසල කුල‍සේකර විශිෂ්ට ශතකයක් වාර්තා කළේය.මුල්පෙලේ කඩුලු 4ක් ලකුණු 64කට දැවීගිය මොහොතේ පිටියට පිවිසි කෝසල වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 78කදී ලකුණු 104ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් ඇතුලත් විය. පන්දු යැවීමේ දි කෞශල්‍ය වීරරත්න කඩුලු 3ක් දවාලූ අතර මාලිංග බණ්ඩාර සහ මධුර ලක්මාල් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.ලකුණු 189ක පහසු ඉලක්කයක් හඹාගිය උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම ඕවර 34.2දී කඩුලු 3ක් පමණක් දැවී ජය අත්කර ගත්තේය.ඉයන් ඩැනියෙල් ලකුණු 92ක් රැස් කළේය.වයඹ – 188 (ඕවර 41) කෝසල කුලසේකර 104, ඇන්ජෙලෝ පෙරේරා 27 (කෞශල්‍ය වීරරත්න 30/3, මාලිංග බණ්ඩාර 21/2, මධුර ලක්මාල් 41/2)උතුරු නැගෙනහිර -190/3(ඕවර 34.2) ඉයන් ඩැනියෙල් 92, සහන් විජේරත්න නොදැවී 31කඳුරට ඌව පිලට ලකුණු 13ක ජයක්මේ අතර රුහුණ පළාත් කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට කඳුරට ඌව පළාත් කණ්ඩායම සමත්විය.පළමුව පන්දුවට පහරදුන් රුහුණ පළාත් කණ්ඩායම ඕවර 49.1කදී ලකුණු 219කට දැවීගියේය.ශිහාන් ජයසූරිය ලකුණු 80ක් ලබාගත් අතර සචිත් පතිරණ ලකුණු 45ක් රැස් කළේය.පන්දු යැවීමේ දී සචිත්‍ර සේනානායක කඩුලු 3ක් ද, චරිත් ජයම්පති කඩුලු 2ක් ද බිඳ දැමූහ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කඳුරට ඌව පළාත් කණ්ඩායමට අයහපත් කාලගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ඕවර 38කදී ලකුණු 162ක් පමණි.එහෙත් ඩක්වර්ත් ලුවිස් ක්‍රම‍වේදය අනුව ඒ වනවිට රුහුණ කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි බැවින් තරග‍යේ ජය කඳුරට ඌව කණ්ඩායමට හිමිවිය.කඳුරට ඌව ඉනිමේ දී දිමුත් කරුණාරත්න ලකුණු 37ක් වාර්තා කළ අතර නායක තිළිණ කණ්ඩම්බි නොදැවී ලකුණු 32ක් රැස් කළේය.රුහුණ – 219 (ඕවර 49.1) ශිහාන් ජයසූරිය 80, සචිත් පතිරණ 45 (සචිත්‍ර සේනානායක 28/3, චරිත් ජයම්පති 43/2)කඳුරට ඌව – 162/4(ඕවර 38) දිමුත් කරුණාරත්න 37, තිළිණ කණ්ඩම්බි නොදැවී 32, තරංග පරණවිතාන 29.
NEWS
හදිසි අනතුරු හේතුවෙන් පාසල් යන වයසේ දරුවන් 600ක් දෙනා වාර්ෂිකව මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දරුවන් 18,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව අතපය කඩා ගැනීම්වලට ලක් වන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දරුවන් මෙසේ අනතුරුවලට ලක් වන බවත් දරුවන්ට සිදු වන හදිසි අනතුරුවලින් සියයට 90 ක් වළක්වා ගත හැකි ඒවා බවත් අමාත්‍යාංශය පවසයි.හදිසි අනතුරුවලට ලක්වන දරුවන්ට වාර්ෂිකව ප්‍රතිකාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 800 ක මුදලක් වැය කරයි.වසර 2012 දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට දරුවන් 2691 දෙනකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවත් ඉන් 274 දෙනකු පාසල් තුළදී හදිසි අනතුරුවලට ලක් වූ දරුවන් බවත් රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.රෝහලේ බාහිර රෝගී අංශයට ද හදිසි අනතුරුවලට ලක් වූ දරුවන් පැමිණ ප්‍රතිකාර ලබා ගෙන පිටත් වන බවත් ඔවුන්ගේ දත්ත මේ සඳහා ඇතුළත් නොවන බවත් හෙතෙම පැවැසීය.පාසල්වල නිවාසාන්තර මලල ක්‍රීඩා ඇතුළු දරුවන් ක්‍රීඩා අවස්ථාවලට සහභාගි වන අවස්ථාවලදී වැඩිපුරම අනතුරුවලට ගොදුරු වන බවත් ඇතැම් විට‍ නොසිතන අවස්ථාවලදී මාරාන්තික අනතුරුවලට දරුවන් ලක් වන බවත් අමාත්‍යාංශය පවසයි.උදාහරණයක් විදියට පාසල්වල දරුවන් සෙල්ලම් කරන අවස්ථාවලදී සෙල්ලමට එකිනෙකා තල්ලු කර ගන්නා අවස්ථාවලදී වැටීම නිසා සුෂුම්නා අනතුරුවලට දරුවන් ලක්වීමේ ඉඩකඩ වැඩි යැයි ද වෛද්‍යවරු පවසති.මාරාන්තික අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් මාර්ග හා ගෘහස්ථ අනතුරු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත වන දරුවන්ගේ දත්ත වාර්තාවලින් මේ තොරතුරු ලබා ගත් බවද අමාත්‍යාංශය පවසයි..
NEWS
මහ මැතිවරණය පැවැත්වෙන අද (09) සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු රට තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීමට සහාය වෙන්නැයි පොලිස්පතිවරයා සියලුම ඡන්ද අපේක්‍ෂකයන්ගෙන් සහ ඔවුන්ගේ ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටියි.අද පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ ආරක්‍ෂාව තහවුරු කිරීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පතිවරයා එසේ ප්‍රකාශ කෙළේ ය. පසුගිය කාලයේ සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් ඡන්ද අපේක්‍ෂකයන් ගේ ආධාරකරුවන් අතර සිදුවූ ඒවාය.විවිධ හේතු මත ඔවුන් අතර ඇතිවන ගැටුම් ඡන්ද දායකයන් අතරටද පැතිරී යයි. එම ගැටුම් වළක්වා ගැනීම සඳහා ඡන්ද අපේක්‍ෂකයන් සියලු දෙනාම ආධාරකරුවන්ට උපදෙස් දී ගැටලු ඇතිවීම වළක්වා රට තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සහාය විය හැකි බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.විශේෂයෙන් මනාප සටන නිසා ඇතිවෙන ගැටුම් වළක්වා ගැනීමට ඔවුන් විශේෂයෙන් සහාය විය යුතු බවද ඔහු පැවැසීය.
NEWS
කුමාර් සංගක්කාරගේ විශිෂ්ට ශතකය හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකා පිලේ පළමු ටෙස්ට් ජයග්‍රහණය වසර අවසානයේ හෝ උදාකරගැනීම බලාපොරොත්තු ඉහළ නංවාගත් ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ ( 28 ) තරගය නිමාවනවිට කඩුලු 3ක් අතැතිව ලකුණු 426ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.නොදැවී කඩුල්ලේ රැඳී සිටින තිසර පෙරේරා ලකුණු 6ක් ද, රංගන හේරත් ලකුණු 5ක් ද රැස් කරගෙන සිටිති.ඉවසීමෙන් හා ප්‍රවේසම් සහගතව පන්දුවට පහරදුන් කුමාර් සංගක්කාර ඊයේ රැස් කරනු ලැබුවේ සිය ටෙස්ට් දිවියේ 28වැනි ශතකයයි.ඉම්රාන්ගේ පන්දුවකට නායක ස්මිත් අතට උඩපන්දුවක් ලබාදෙමින් ඔහු ලකුණු 108කට දැවීයනවිට මිනිත්තු 289ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 190කට මුහුණ දී තිබිණි. සංගක්කාරගේ අනර්ඝ ශතකයට හතරේ පහර 13ක් ඇතුලත් විය.ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේ ඉනිම් 2 දී ලකුණු 1ක් සහ 2ක් ද, මේ තරගයේ පළමු ඉනිමේ දී ලකුණු නොලබා ද, දැවීගිය සංගක්කාර නැවත ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත තත්වයක් උදාකරලන්නකි.කෙසේවෙතත් ඔහු ඊයේ දිනයේ යවනු ලැබූ සිවුවැනි පන්දුවේදී ( මෝර්නි මෝකල්ගේ ) පළමු ස්ලිප් හී පන්දු රැකීමේ නිරතව සිටි නායක ග්‍රෙහැම් ස්මිත් අතට ලබා දුන් උඩපන්දුව රැකගත්තේනම් තත්වය වෙනස්වීමට ඉඩ තිබිණි.ඒ උඩපන්දුව ස්මිත්ට රැකගැනීමට නොහැකිවූයේ කඩුලු රකින මාක් බවුචර් ඔහුට බාධා කරමින් උඩපන්දුවට කඩාපැනීමේ හේතුවෙනි.සංගක්කාර හා චන්දිමාල් අතර 6වැනි කඩුල්ල සඳහා ලකුණු 104ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැගිණි.සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදි මෙන්ම දෙවැනි ඉනිමේදිත් අර්ධ ශතකයක් රැස්කළ චන්දිමාල් 6වැනි කඩුල්ල ලෙස ලකුණු 54කට දැවීගියේ ස්ටේන්ගේ පන්දුවකට බවුචර් අතට උඩපන්දුවක් දීමෙනි. සංගක්කාර දැවීගියේ ඉම්රාන් විසින් යවන ලද ඊට පසු ඕවරයේදීය.පෙරේදා තරගය නතරකරනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 7ක් රැස් කරගෙන සිටිි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ තවත් කඩුලු 2ක් දිවා ආහාරයට පෙර දවාලීමට දකුණු අප්‍රිකානුවන් සමත්විය.ඊයේ දිනයේ පළමුව දැවීගියේ තරංග පරණවිතානය.ඔහු මෝකල්ගේ පන්දුවකට අශ්වෙල් ප්‍රින්ස් අතට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 9කට දැවීගිය අතර මහේල ජයවර්ධන මර්චන්ට් ලැංගේ ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් ලකුණු 14කට දැවීගියේය. ඒ අනුව දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 65ක් රැස් කරගෙන සිටියේය.නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 28ක් ද, තිලාන් සමරවීර ලකුණු 9ක් ද ලබා සිටියහ.දිවා ආහාරයෙන් පසුව මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ සංගක්කාර හා සමරවීිර සිවුවැනි කඩුල්ලට ලකුණු 94ක කදිම සම්බන්ධතාවයක් ඇති කරගත්තේය.ශ්‍රී ලංකා ඉනිිමේ මුලු ලකුණු සංඛ්‍යාව 138ක්ව තිබියදී සමරවීර ලකුණු 43කට දැවීගියේ ඉම්රාන් තාහීර්ගේ ‘ගුග්ලි’ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.අනතුරුව පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස්ට වැඩිවේලා කඩුල්ලේ රැඳීි සිටීමට ඉඩ ලැබුණේ නැත. ඔහු ඩේල් ස්ටේන්ගේ පන්දුවකට කඩුලු රකින මාක් බවුචර් අතට උඩපන්දුවක් දී ලකුණු 3කට දැවීගියේය.තේ පානය සඳහා තරගය නතරකරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 5කට ලකුණු 207ක් රැස් කරගෙන සිටියේය. තේ පානයට පෙර ඕවරයේ දී සංගක්කාර සිය ශතකය වාර්තා කළේය.පන්දු 161ක් වැයවූ ඔහුගේ ශතකයට හතරේ පහර 13ක් එක්වී තිබිණි.ඒ වනවිට දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 23ක් ලබා සිටි අතර ශ්‍රී ලංකාව ලකුණු 377ක් ඉදිරියෙන් සිටියේය.පෙරදින රාත්‍රියේ හා උදෑසන ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ වූයේ පැයක පමණ ප්‍රමාදයකින් පසුවය. වැසි අඳුර හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ අවස්්ථාවන්හී දී විදුලි ආලෝකධාරා ක්‍රියාත්මක විය.පන්දු යැවීමේ දී ඩේල් ස්ටේන් කඩුලු 3ක් බිඳදැමූ අතර ඉම්රාන් තාහිිර් කඩුලු 2ක් දවාලීය. අද තරගයේ සිවුවැනි දිනයයි..
NEWS
මහනුවර හන්තාන ග්‍රාමයේ හන්තාන වත්ත පහළ කොටසේ නිවසක් මතට කිසියම් පිරිසක් විසින් ගසක් කපා හෙළීම නිසා එම නිවස මුළුමනින්ම විනාශ වී තිබේ.මේ හේතුවෙන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක්, ඔවුන්ගේ ආබාධිත දියණියක ඇතුළු දරුවන් තිදෙනකු අසරණව සිටින අතර, ඔවුන් මේ වනවිට අසල්වැසි නිවසක තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක මේ පවුල නිවසක් තනා වසර 15ක් පමණ කාලයක් තිස්සේ එහි පදිංචිව සිටින අතර, අදාල ගස නිවස මතට ඇද වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් වතු අධිකාරිවරයාට නිවෙස් හිමි ගාමිණී වීරසූරිය නමති අය විසින් දැනුම් දී ඇත.සිද්ධිය වී මේ වනවිට සති තුනක පමණ කාලයක් ගතවී ඇතත් එම ගසේ කොටස් හෝ ඉවත් කිරීමට වතු පාලන අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැත..
NEWS
එක් එක් උසස් අයගේ චරිත කතා විවිධ රටාවන් ඔස්සේ ලිවීමට දක්ෂයකු වූ මහා පත්‍රකලාවේදී ඩී. බී. ධනපාල මහතාගෙන් පසු ඒ ආකාරයෙන්ම ලිවීමට උපන් අති දක්ෂයකු ‍වශයෙන් අභාවප්‍රාප්ත ගුණදාස ලියනගේ සූරීන් හැඳින්විය හැකි යැයි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසූහ.කිසිවෙකුගේ බලකිරීමකට හෝ වරදානවලට යට නොවී නිදහස්වත් අදීනවත් ලිවීමට නොසැලෙන ආත්ම ශක්තියක් තිබූ ඔහු රටක යහපැවැත්ම ප්‍රබල මාධ්‍ය සදාචාරයක් තිබිය යුතුය යන්න මැනවින් තම ක්‍රියාකාරීත්වය මගින් පරමාදර්ශී වී යැයි ද උන්වහන්සේ කීහ.පුවත්පත් - සඟරා කතුවරයෙකු හා ගත්කතුවරයෙකු වූ කලාසූරී ගුණදාස ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී වසර 16 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී පැවැති ගුලි ගුණ සුවඳ සමරු උළෙලේ මුලසුන හෙබැවූ විමලරතන නාහිමියෝ එසේ කීහ.කලාසූරී ගුණදාස ලියනගේ සමරු පදනම මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ලියනගේ පිළිරුවට මල්දම් පැලඳවීම කලාභූෂණ චන්ද්‍රලතා ලියනගේ මහත්මියත්, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතාත් අතින් සිදුවිය.විමලරතන නාහිමියෝ මෙසේ ද කීහ. පුවත්පත් මාධ්‍යයෙත් හා ගුවන් විදුලි මාධ්‍යයෙත් අලුත් අලුත් නිර්මාණශීලී අංගවලින් රසබර හා අරුත්බර මංපෙත් ලියනගේ මහතා වෙතින් බිහිවුණ අතර අද එම කලාව විවිධ නාලිකා හා මාධ්‍ය ක්ෂේත්‍රවලට විහිදී ගිහින්. එදා පොත් ලිවීමට රජවරුන් ආරාධනා කළේ මහ සඟරුවනට වුවත් වත්මන් යුගයේ සංඝරත්නය විසින් දක්ෂ ගිහි ලේඛකයනට එම ඇරියුම් කරනු ලබයි.ගුණදාස ලියනගේයන් ද එබඳු ආරාධනා ලැබූවෙකි. මම ද පෞද්ගලිකව එබඳු ආරාධනයක් එතුමාණන්ට කළා. එමඟින් හොඳ නිර්මාණශීලී කෘති බිහිකරන්න ගුලි පෙළඹුණා. ‍ඔහු ලියූ නිර්මාණය කළ හැම කෘතියක්ම හැම අංගයක්ම අර්ථවත් වුණා. හරවත් වුණා. එමඟින් ඒ ඒ ක්ෂේත්‍රවලට විශිෂ්ට සේවාවක් සිදුකිරීමට ඔහු සමත් වුණා. මාධ්‍ය භූමිකාව පිළිබඳව අද පවතින්නේ විකෘති ස්වභාවයක්. බලපෑමකින් තොරව මාධ්‍ය චින්තනය මෙහෙයවන්න එදා නිදහස තිබුණා. අද එයට හිමිව ඇත්තේ වෙනස් තත්ත්වයක්.සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා - බලපෑම්වලින් තොරව අදීනව ලිවීම පිළිබඳව ගුලි මෙන් හැම ලේඛකයෙකුටම තෘප්තිමත් වන්න බැහැ. අපේ සර්වෝදය ශ්‍රමදාන වැඩවලට ලියනගේ සූරීන් මා සමඟ රට වටේ ගියා.එම වැඩ ගැන ඔහු පුවත්පත් සඟරාවලට ලිව්වේ කවුරුත් නොලියන අපූරු ශෛලියකිනුයි. අද ගුලි හිටිය නම් ඒ විදියට ලිව්ව නම් වැඩිකල් පණපිටින් ඉන්න ලැබෙන්නේ නැහැ. ඔහු නැති පාඩුව අද මාධ්‍ය ලෝකයට හොඳට දැනෙනවා. ඔහු සතුව තිබූ දැක්ම හැම ලේඛකයකුටම, මාධ්‍යකරුවකුටම ලබන්න බැහැ. ඩී. බී. ධනපාල මහතාත් ගුලිත් සර්වෝදය වැඩවලට ලබා දුන් අනූපමේය මෙහෙවර අමතක කරන්න බැහැ. ගුලිගෙ එම සේවය තම දරුවන් කීපදෙනාගෙන් බොහෝදුරට ඉටුවෙනවා.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා - මගේ හොඳම වීරෝධාර අසල්වැසියා වූයේ ගුණදාස ලියනගේ මහතායි. ඔහු අපේ ගෙවල් අතර ඉන්නවා ඉන්නවා වාගෙයි. තමන් විසින්ම ප්‍රකාශන ආයතනයක් ඇතිකරන්න ගුලිට වුවමනා තිබුණා. ඒ හිතවත් ලේඛකයනට අලුතෙන් එම පරපුරට එක්වන අයට අතහිත දෙන්නට තිබූ බලවත් ආශාව නිසයි. පරිවර්තන, ස්වතන්ත්‍ර ආදී හැම අංශයකදීම ගුලි දස්කම් පෙන්වූවා. ඔහුට හොඳ “රැස් වළල්ලක්” තිබුණා. ඔහු පොත් කන්දරාවක් ලිව්වා.සුමිත්‍රා රාහුබද්ද මහත්මිය - ගුලි මගේ නිර්මාණශීලී ජීවිතය ඔපවත් කරන්න හැම විටකම හිතවත්ව සහයෝගය දැක්වූවා. මගේ අනාගතය හැඩගසා ගන්න හැම විටම අතහිත දුන්නා. ඔහු රළු විචාරකයෙක් වූවේ නැහැ. හොඳ ලේඛිකාවක් වන්න සන්නිවේදිකාවක් වන්න මඟ විවර කළා..
NEWS
එළැඹෙන දෙසැම්බර් මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් 5 ඇවිදීමේ තරගය සඳහා චන්ද්‍රසේන නානායක්කාර හා මැරතන් ධාවන තරගය සඳහා එච්. ඩබ්ලිව්. ඩබ්ලිව්. නානායක්කාර මහතාත් සුදුසුකම් ලබා සිටිති.පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේදී නිමාව දුටු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කිලෝ මීටර් 5 ප්‍රවීණයන්ගේ ඇවිදීමේ තරගයේ ලෝකඩ පදක්කමක් දිනූ චන්ද්‍රසේන සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක් හා රිදී පදක්කම් 2ක් හිමිකරගෙන සිටී.බෝගම්බර ක්‍රීඩා පිටියේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයේදී රිදී පදක්කම් දෙකක් හිමිකර ගත් එච්. ඩබ්ලිව්. ඩබ්ලිව්. නානායක්කාර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් පෙන්වීමට සමත්වී සිටී..
NEWS
දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක් භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එකම පවුලේ සහෝදරයෙක් හා සහෝදරියක් ඇතුළු තිදෙනකු ලබන මස 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.තවද එම දැරිය බැඳුම්කරයක් මත ඇයගේ මවට භාර දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.එම දැරිය පූගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්වන අතර සැකකාර තිදෙනා දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.මොවුන් එම දැරිය පැහැර ගෙන ගොස් ඇත්තේ පාසල නිවාඩු දුන් දිනයේ වන අතර දැරිය නව වැනි වසරේ අධ්‍යාපනය ලබයි.පූගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා පැමිණිල්ල මෙහෙය විය..
NEWS
ජිනීවා සමුළුවට සහභාගී වන සියලු මුස්ලිම් රාජ්‍යයන්ගේ උපරිම සහය මෙවරද ශ්‍රී ලංකාවට නිසැකවම හිමිවන බව පරිසර හා පුනර්ජනණීය බලශක්ති නියෝජ්‍ය ඇමැති ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා පවසයි.නිදහසින් පසු ලොව පුරා මුස්ලිම් රාජ්‍යයන්ගේ හා මුස්ලිම් නායකයන්ගේ ඉහළ ගෞරවය හා ප්‍රසාදය දිනූ මෙරට රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එනිසා අප රටට අවශ්‍ය සෑම විටම මුස්ලිම් රාජ්‍යයන් උපරිම සහය ලබාදෙන බවත් කාදර් මහතා කීය.ජිනීවා සමුළුව අතකොළුවක් කැර ගනිමින් මෙරට ඇතැම් පටු අන්තගාමී කණ්ඩායම් තම පෞද්ගලික දේශපාලන හා පටු පරමාර්ථ වෙනුවෙන් ක්‍රියා කරන බවද එම කණ්ඩායම් සියල්ල පරාජය කිරීමට ජාති ආගම් භේදයෙන් තොරව එක්විය යුතු බවද හෙතෙම පැවැසීය.දශක තුනක කුරිරු යුද්ධය මෙරට ජනතාවට බලපෑවේ ජාති ආගම් පාට පක්ෂ භේදයෙන් තොරව යැයිද එහිදී මුස්ලිම් ජනතාවට අත්විඳින්නට වූ කරදර, දුක්, කම්කටොළු අද ද ඔවුන්ගේ ජීවිත වලට අමිහිරි බවක් එක්කරන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.මානව හිමිකම් පිළිබඳව අද කිඹුල් කඳුළු හෙළන පිරිස් වලට එදා අමිහිරි ඛේදවාචකයන් අමතක වී තිබීම කණගාටුවක් වුවත් නැ‍ඟෙනහිර ප්‍රමුඛ ත්‍රස්තවාදයෙන් බැට කෑ මුස්ලිම් ජනයාට එය කෙසේවත් අමතක කළ නොහැකි යැයි කාදර් මහතා පෙන්වා දෙයි.මෙරට මුස්ලිම් ජනතාවට තම යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටු කිරීමට හැකි නම් ලොව පුරා මුස්ලිම් රටවල් එයට නොදෙවෙනිව තම උපරිම සහය මෙරටට ලබාදෙනු ඇතැයිද කාදර් මහතා කීය..
NEWS
ලෝක පූජිත හොංකොං සෙවන්ස් රගර් තරගාවලියේ අවසන් දිනයේ සැමෝවා හා පෘතුගාලය සමග පැවැති තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙන්නුම් කළ දස්කම් ජාත්‍යන්තර රගර් විචාරකයන්ගේ පැසසුමට ලක්විය. විශේෂයෙන් සැමෝවා පිල සමග පැවැති තරගයේ පළමු භාගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම ඔවුන්ගේ ඇගැයීමට ලක්විය.තරගාවලියේ මූලික වටයේ දී කෙන්යාව හා ෆිජී කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාව වේල්සය සමග පැවැති තරගය නිමා කළේ ලකුණු 17-12ක් වශයෙනි. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලකුණු වාර්තා කළ පළමු අවස්ථාව එය විය. එම උත්සාහක දිනුම් 2ම රැස් කරනු ලැබුවේ මිතුන් හපුගොඩ විසිනි.කෙන්යාව හා ෆිජී කණ්ඩායම් සමග පැවැති තරගවලදී මිතුන් හපුගොඩ පිටියට පිවිසියේ දෙවැනි භාගයේ අවසන් මිනිත්තු කීපයේදීය. එහෙත් වේල්සය සමග පැවැති තරගයේ දී හපුගොඩ වේලාසනින්ම පිටියට යැවීමට පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහීම් කටයුතු කළේය. කණ්ඩායමේ නායකයාගේ හා පුහුණුකරුගේ බලාපොරොත්තු ඉටු කිරීමට හපුගොඩට හැකිවිය.ඊට පෙර ෆිජී කණ්ඩායම සමග පැවැති තරගයේ අවසන් මිනිත්තු කීපයේ පිටියට පිවිසි හපුගොඩ තරගය නිමාවීමට මොහොතකට පෙර ප්‍රතිවාදීන්ගේ උත්සාහක දිනුමක් වළක්වා ගත් අයුරු ප්‍රසංශනීය බැව් විචාරකයන් පවසති. තරගාවලිය පුරා හපුගොඩ උත්සාහක දිනුම් 3ක් වාර්තා කළේය.“අපිට ඕන කළේ මේක තමයි. ශ්‍රී ලංකාව කියන්නේ දැන් ආසියාවේ ‘රග්බි සෙවන්ස්’ වල හොඳම තුන්වැනි රට. මෙවර හොංකොං සෙවන්ස්වල 16වැනි කණ්ඩායම විදිහට ශ්‍රී ලංකාව තෝරාගත්තම හැමෝම පුදුමයට පත්වුණා. ඒ වගේම ප්‍රශ්න කරන්නට ගත්තා. නමුත් ඒ සඳහා අයි.ආර්.බී.ය (ලෝක රගර් සංගමය) අනුමැතිය පළ කළා. ඔවුන් දැනගෙන හිටියා ශ්‍රී ලංකාවට ආසියාවෙන් පිට තරගවලට යන්න පුළුවනි කියලා.අපිට ඕන කළේ ලෝකෙට පෙන්වන්න ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තියෙන්නේ කොතැනද කියලා. ඒ නිසා තරගයක් ජයගැනීමට අසමත්වුණත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් සම්බන්ධව අපි හුඟාක් සතුටු වෙනවා.” ආසියානු රගර් තරගාවලි අධ්‍යක්ෂ හා හොංකොං සෙවන්ස් තරගාවලියේ මාධ්‍ය අධ්‍යක්ෂ ෂෝන් මුවර් මහතා තරගාවලියෙන් අනතුරුව ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.හොංකොං හී කෝස්වේ බේ නුවර හොංකොං ක්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවැති මේ තරගාවලිය නැරැඹීමට 40,000කට ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්වූහ..
NEWS
තිහගොඩ පොලිස් වසමේ අපරැක්ක ප්‍රදේශයේදී වල් ඌරන්ට ඇටවූ විදුලි රැහැනකට හසුවීමෙන් වයස අවුරුදු 11ක පාසල් දැරියක් ඊයේ (25) මියගොස් තිබේ.ඊයේ (25) පෙරවරුවේ සිය ඉඩමේ වැටී තිබූ පොල් ගෙඩියක් ඇහිඳීමට යාමේදී මේ අනතුරට පත්ව ඇත.මාතර යටියන මහ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. ඒ. නිසංසලා නමැති දැරිය මෙලෙස මරණයට පත්ව තිබේ..
NEWS
සන්නිවේදන කුලුනු ආශ්‍රිතව අකුණු අනතුරු සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවට කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.ශ්‍රී ලංකාවේ සන්නිවේදන කුලුනු 5000 ක් පමණ පවතින බවද ඒවා සියල්ල ඉදිකර ඇත්තේ අන්තර් ජාතික ප්‍රමතීන්ට අනුකූලව බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා “දිනමිණ” ට පැවසීය.මෙම සන්නිවේදන කුලුනු ආශි‍්‍රතව සිදුවන අකුණු ගැසීම් භූගත කිරීම සදහා අදාළ කුළුණෙහි කම්බි ආධාරක සවිකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඇතැම් පුද්ගලයන් විසින් එම කම්බි කපාගෙන යාම හේතුවෙන් අනතුරු දායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද සදහන් කළේය.කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේදී ඒ පිළිබද විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කරන බවද කීය..
NEWS
ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා පිරිසිදු ජලය ඇති තරමට ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපත්ව සිටී.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජල සම්පාදන හා ජලාපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (25) දහවල් පැවැත්විණි.ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජල සම්පාදන මණ්ඩලයේ බවුසර් හා ටැංකි මගින් පිරිසිදු පානීය ජලය විශාල වශයෙන් අවතැන්්වූවන් සඳහා අඛණ්ඩව ලබාදීම සිදු වෙනවා.මේ අවස්ථාවේ ජල සම්පාදන මණ්ඩලය හා නාගරික හා නාගරික තදාසන්න ප්‍රදේ්ශයන්හි පළාත් පාලන ආයතන සහයෝගීව එම කටයුතු සාර්ථකව කරගෙන යනු ලබනවා. මූලිකව කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි මේ වන විටත් මෙහෙයුම් කටයුතු කරනු ලබනවා.එමෙන්ම දැනට ජලය බැසයාමට නොහැකි ප්‍රදේශයන් සඳහා පිළියම් යෙදීමට හා ජලයට යට වූ ළිං ශුද්ධ පවිත්‍ර කරදීමට මහජන සෞඛ්‍ය අධිකාරිය හා එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජලයට යටව තිබූ ප්‍රදේශයන්හි ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහාත් සෑම මොහොතකම තමා හා තම නිලධාරීන් ඇප කැප වී සිටින බව ඇමැතිවරයා කියා සිටියේය.එමෙන්ම එළඹෙන වෙසක් සතියේදී රටේ මහජනතාව කරන පිංකම් කටයුතුවලදී ඔවුන්ට නිතරම පිරිසිදු ජලය පමණක්ම භාවිතයට ගන්නා ලෙස ඇමැතිවරයා විසින් උපදෙස් දෙනු ලබයි.ඒ සඳහා අවශ්‍ය කටයුතු ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හරහා සූදානම් කරුණු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
NEWS
පියා ගේ කඩේ දෙවතාවක් කඩා රුපියල් එක්ලක්ෂ දහහත්දහසක භාණ්ඩ සොරාගත් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.වැලිගම මහවීදියේ ඇති තොගබඩු කඩයක් වන මේ ස්ථානයට පසුගිය මාසයේදී වහලයේ උළු ඉවත් කර බැස ඇති මේ පුතා ඇතුළු සොර කල්ලිය රුපියල් 57000/- ක් වටිනා දේපළ සොරාගෙන තිබීම නිසා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබුණි.පසුගිය 14 වැනි දිනද මේ ව්‍යාපාරික ස්ථානයට වහලයේ උළු ඉවත් කරගෙන ඇතුළු වී ඇති සොරුන් රුපියල් 60000/- ක දේපළ සොරාගෙන ගොස් තිබේ.භාණ්ඩ සොරාගත්තේ පැමිණිලි කරුගේම පොඩි පුතා බවට තොරතුරු හෙළි වී තිබුණි..
NEWS
ඩේවි ජාකොබ්ස් හා අශ්වෙල් ප්‍රින්ස් අතර ලකුණු 147 ක සම්බන්ධතාවක් වොරියස් ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැගීමේ හේතුවෙන් සෙන්ට්‍රල් දිස්ත්‍රික් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට වොරියස් කණ්ඩායම සමත් විය.සෙන්ට්‍රල් දිස්ත්‍රික් පිල කඩුලු 3 කට රැස් කළ ලකුණු 175 හඹා යමින් බාරියස් පිල ලැබුවේ තරගාවලියේ තුන් වැනි ජයග්‍රහණයයි. නායක ජාකොබ්ස් පන්දු 47 කදී ලකුණු 74 ක් රැස් කරනු ලැබුවේ හයේ පහරවල් 6 ක් හා හතරේ පහරවල් 5 ක් සමගින් ය. ප්‍රින්ස් පන්දු 50 කදී ලකුණු 64 ක් රැස් කළේය.මේ අතර අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන චෙන්නායි පිලේ සිහිනය බොඳ කර දැමීමට වික්ටෝරියා පිල සමත් විය.අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම් 2 කට ඉතිරිව තිබෙන අවසන් තරගයෙන් ජය ගත යුතු වන අතර එසේ වුවහොත් තරග තුනම ජය ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසු වන වොරියස් පිල හා සම තත්ත්වයට ඔවුන් පත් වනු ඇත.චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දී ලකුණු 162 ක් රැස් කළ අතර මුරලි පිලේ ලකුණු 73 කින් ඉනිම වර්ණවත් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වික්ටෝරියා කණ්ඩායම රැස් කරනු ලැබුවේද ලකුණු 162 කි. මුත්තයියා මුරලිදරන් කඩුලු 2 ක් දවා ගත් අතර සුරේෂ් රයිනා කඩුලු 4 ක් දවාලීය.ලකුණු සමවීම නිසා ලබා දුන් සුපිරි ඕවරයේදී වික්ටෝරියා පිල ලකුණු 23 ක් රැස් කළ අතර චෙන්නායි පිලට ලබා ගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ දකුණු ඕස්ට්‍රේලියානු රෙඩ්බෑක්ස් පිල ද අවසන් පූර්ව වටයට තේරී පත් විය.දකුණු ඕස්ට්‍රේලියානු පිලේ නායක මයිකල් ක්ලින්ගර් පිට පිට තුන්වැනි අර්ධ ශතකයත් වාර්තා කරමින් තම පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත් කිරීමට සමත් වූයේ සහභාගී වූ තරග තුනම ජයගත් ‘බී’ කාණ්ඩයේ එකම කණ්ඩායම ලෙසිනි.ක්ලින්ගර් නොදැවී ලකුණු 69 ක් රැස් කළ අතර ඩැනියෙල් හැරිස් ලකුණු 57 ක් වාර්තා කළේය.‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු වයඹ පිල මේ දක්වා සහභාගි වූ තරග 2 ම පරාජයට පත් වී තරගාවලියෙන් ඉවතට විසිවී සිටින අතර අද (20) සෙන්චුරියන්හි දී වික්ටෝරියා පිල සමග තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයට සහභාගී වේ..
NEWS
වසර 2018 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල රටේ අභිමානය හා දක්ෂතා ලොවට පෙන්විය හැකි හොඳම අවස්ථාව බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ගැනීම උදෙසා ඔස්ට්‍රේලියාව සමග තරගය මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වේ. ඒ සඳහා සූදානම හා සංවිධාන කටයුතුවල සාර්ථකත්වය පැහැදිලි කරමින් පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. මේ මාධ්‍ය හමුව ඊයේ ‘ඔලිම්පික් නිවහන’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග සංවිධායක කමිටුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇත. ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු , හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න යන මහත්වරුද සංවිධාන කමිටු සාමාජිකයන් ලෙස නම් කර ඇත.ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර සංවිධාන කටයුතු සඳහා අනුබද්ධ කණ්ඩායම් 15 ක් පත්කොට ඇත.මේ වසරේ මැයි මාසයට පෙර තරගාවලියට ලංසු තැබීමේ ඉල්ලුම්පත (ඕඪඤ ච්ධජභථඥදබ) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.හම්බන්තොටදී පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා නගර සැලැස්මේ ආකෘතිය මේ 19 දා පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධාන විධායක මයික් කූපර් මහතා ගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමට බලාපොරොත්තු වේ.ජුනි 25 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා නිරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන සැලසුම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබාදීමට ද කටයුතු කර ඇත.ඔක්තෝබර් මාසයේදී එම නිරීක්ෂණ ඇතුලත් ඇගැයීම් කමිටු වාර්තාව එළි දක්වා තරගයට හොඳ සූදානමක් ලබා ගැනීම ශ්‍රී ලංකා සංවිධායක කමිටුවේ අපේක්ෂාව වී ඇත.මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසුවේ රට පිළිබඳ ලොව හමුවේ විශාල දැනුම්වත් කිරීමක් ලබාදීමට මේ ක්‍රීඩා උළෙලින් ලැබෙන බවය.“ මේ ක්‍රීඩා උළෙල සංවිධානයෙන් අපට යමක් කළ හැකි රටක් කියා ලෝකයාට පණිවිඩයක් යනවා. රට ගැන කතා කිරීමට හොඳම අවස්ථාවක්.අලුතින් ඉදිවන කී‍්‍රඩාපිටි හා අනෙකුත් අයෝජන ඉදිරි තරුණ පරම්පරාවේ දියුණුවට ඉවහල් වෙනවා. දියුණුවන රටකට මෙය ලබාදීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයටත් විශාල එළියක් ලැබෙනවා. රටවල් 71 කින් අලුත් රටකට අවස්ථාව උදාවීම තවත් රටවල් දිරිගැන්මක් වෙනවා” යැයි මහ බැංකු අධිපතිවරයා පැවැසීය.එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉදිවන නව ක්‍රීඩා නගරය තුළ ලොව ඕනෑම තරගාවලියක් පැවැත්වීමේ හැකියාව ලැබෙන බවද සඳහන් කළේ ය. “ අපේ දරුවන්ට අලුත් හැඟීමක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ තරගාවලිය සංවිධානය කිරීම මෙන්ම පදක්කම් දිනා ගැනීමට වැඩ පිළිවෙල සකසන්න ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පවත්වා ශ්‍රී ලංකාව පදක්කම් 100 ක් දිනාගැනීමේ වැඩ පිළිවෙළකට පිවිස ඇතැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා හෙළි කළේ ය. ඒ සඳහා අට අවුරුදු සැලැස්මක් සහිත ජාතික වැඩපිළිවෙළක් සකසා ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ක්‍රීඩා සංචිත අඛන්ඩව පවත්වාගෙන යන අතරතුර පළාත් 9 ට ක්‍රීඩා සංකීර්ණ 9 ක් සෑදීම මෙහි එක් පියවරක් වේ.“රටක් හැටියට අපට අභියෝග භාර ගැනීමේ හැකියාව මේ ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් ඔප්පු වෙනවා. වසරක් තුළ ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩාංගණ 3 ක් හැදුවා. දිනන්න බෑ කියූ යුද්ධය දිනා ගත්තා. අලුත් ගුවන්තොටුපල, වරාය, විදුලි බලාගාර හැදෙන අපේ රටේ මේ ක්‍රීඩා උළෙල පැවැත්වීම අපහසු දෙයක් නොවෙයි. ක්‍රීඩාවට ආදරය කරන රටේ නායකයා ක්‍රීඩාව දිරි ගැන්වීමට ලබාදෙන සහයෝගය විශාලයි. ඒක අපට විශාල ශක්තියක් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය..
NEWS
හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරියක ලබා දුන් එන්නතකින් පසු මාස 4ක ළදැරියක මිය යාමේ සිද්ධියක් හලාවතින් වාර්තාවේ.මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත වැලිහේන පදිංචිව සිටි නිෂෙලි අහිංසා ප්‍රනාන්දු නැමැති ළදැරියකි. පියා විසින් දැරියගේ පෙර වෛද්‍ය වාර්තා වෛද්‍යවරියට පෙන්වා එන්නත විදගෙන ඇති අතර විනාඩි දහයක කාලය ඇතුළත ළදැරිය මිය ගොස් ඇත.මෘත ශරීරය හලාවත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (22) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ය. ඊයේ පස්වරුවේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි.හලාවත මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
NEWS
පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය අනුව අංක 1875/38 දරන මෙම විශේෂ ගැසට් පත්‍රයක් 2014.08.15 දින නිකුත් කරන ලදී.ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි 10 (1) (ආ) II වන වගන්තියට බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු නිෂ්පාදකයින්, ආනයනකරුවන් බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හෝ වෙළෙඳුන් විසින් කල්ඉකුත් වූ හෝ විකිණීමට නුසුදුසු/ආයෝග්‍ය ලෙස හඳුනා ගත් සහ ඒ අනුව විනාශ කිරීමේ කාර්යය සඳහා/ප්‍රති අපනයනය සඳහා හෝ තබාගනු ලබන ගබඩා කරනු ලබන එක්රැස් කරනු ලබන සියලු භාණ්ඩවල එම භාණ්ඩ වර්ගය, සන්නම් නාමය, බර/පරිමාව සහ ඒකක ගණන සඳහන් ලේඛනයක් පවත්වාගෙන යන්නේ නම් මිස එවන් භාණ්ඩ යම් ගුදමක, ගබඩාවක හෝ වෙනත් යම් ස්ථානයක තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බව විධාන අංක 51 යටතේ විධානය කර ඇත.මෙම විධානයන් කඩකරන සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත. උපරිම ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතාට නියෝග කර ඇත.
NEWS
ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා නම්කර ඇත.ඉන්දියාවේ නවදිල්ලිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය දරන ප්‍රසාද් කාරියවසම් මහතා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කිරීමත් සමඟ පුරප්පාඩු වූ තනතුර වෙනුවෙන් ඒ මහතා නම්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සෙනෙවිරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති අතර ඉන්දියාවේ විශ්ව විද්‍යාල කිහිපයකම අධ්‍යාපනය හදාරා තිබේ.‍පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබෙන අතර කලාපමහාචාර්ය පුරා විද්‍යාත්මක වටිනාකම් හඳුනා ගැනීම වෙනුවෙන් විශාල සේවාවක් සිදුකර ඇත. දකුණු ආසියාවේ නව පුරා විද්‍යාත්මක පරම්පරාවක් ගොඩනැඟීමට ද දායක වී තිබේ.
NEWS
විවාහවී දින හතරකට පසු තම බිරියට පහර දුන් බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් 22 වනදා විවාහ දිවි අරඹා ඇති කළුතර පදිංචි 27 හැවිරිදි කාන්තාවක් මේ පහරකෑමට ලක්ව ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ.සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
NEWS
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව නිසා පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරින් 350 දෙනකු වසර දෙකක් තිස්සේ රැකියා විරහිතව සිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරයි. රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් 1760 දෙනකුගේ පුරප්පාඩු තිබියදීත් මේ උපාධිධාරින් සේවයට ඇතුළත් කර නොගැනීම බරපතල ගැටලුවක් බව එම බලමණ්ඩලයේ සභාපති හරේන්ද්‍ර කුරුප්පු මහතා ප්‍රකාශ කරයි.මේ උපාධිධාරින් බඳවා ගැනීම සඳහා වසර 2010 දී අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුව මඟින් කිසිදු නිර්දේශයක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් එම බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා කීය.අමාත්‍ය මණ්ඩල කමිටුවට තොරතුරු ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර තිබෙන කමිටුව ද අක්‍රීය බව හෙතෙම පැවැසීය..
NEWS
පෙට්‍රල්වල වතුර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අවශ්‍යතාවන්ගෙන් වැඩිම කොටස සපයන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එමෙන්ම බලාගාරවලට අවශ්‍ය ඉන්ධනද සපයන්නේ එම සංස්ථාවයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙළඳපොළට සපයන ඛනිජ තෙල් නිෂ්පාදන 50% ක් පමණ සපයන්නේ ඛනිජ තෙල් පිරිපහදුවයි. උත්තේජකයේ ක්‍රියාකාරීත්වය පහත හෙළීම නිසා ගැසිලින් නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවිය. එම නිසා උත්තේජක යළි පණ ගැන්වීමට පිරිපහදුව සති දෙකක කාල සීමාවකට වසා දැමීමට සිදුවිය. මේ නිසා ගැසලීන්වල ක්ෂණික හිඟයක් ඇති විය. එම නිසා ක්ෂණිකව ගැසලීන් ලබා ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් නියමිත ටෙන්ඩර් පටිපාටීන්ට අනුව ටෙන්ඩර් කැඳවන ලදී. කෙසේ වෙතත්, අවශ්‍ය කාලසීමාව ඇතුළත අවශ්‍ය ගැසලින් සැපයීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. එම නිසා ක්ෂණිකව බෙදා හැරීම සඳහා අවශ්‍ය ගැසලින් ලබා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය විසින් පත් කළ ප්‍රසම්පාදන කමිටුව (ඵඵජචනජ) විසින් උපදෙස් දෙන ලදී. මේ අනුව එමිරේට්ස් ජාතික තෙල් සමාගම (ඡ්දධජ) විසින් වහාම ගැසලින් ලබාදීමට එකඟ විය. ගැසිලින් හිඟයක් ඇතිවීම වැළැක්වීමට මෙම ගැසලින් තොගය ආනයනය කිරීමට ඉහත කී ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලදී. මේ අනුව, තත්ත්ව පරීක්ෂණයකින් අනතුරුව මෙම ගැසලීන් තොගය ආනයනය කරන ලදී. පරිවහන වියදම් අඩුකර ගැනීම සඳහා ගෑස් ඔයිල් තොගයක්ද මේ සමගම ආනයනය කරන ලදී.ගැසලින් හිඟයක් ඇතිවීම වළකාගත හැකි ආකාරයට 2011.06.16 දින මෙම නිෂ්පාදන කොළඹට ලැබිණි. කොළඹදී සිදු කරන ලද පරීක්ෂණවලින්ද ආනයනය කළ ගැසලින් සහ ගෑස් ඔයිල් ප්‍රමිතීන්ට අනුකූල බව සනාථ විය. ඒ අනුව මෙම නිෂ්පාදන වහාම ගොඩබිම් ටැංකි වෙත යැවීමට කටයුතු කරන ලදී.ටැංකිවල තිබූ ගැසලින් තොග ඉතාම පහළ මට්ටමක තිබුණත් සැපයුම් අඩාල නොවන ආකාරයට මෙම නිෂ්පාදන දිගින් දිගටම බෙදා හැරීමට කටයුතු කරන ලදී.උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයූ බවට ඛනිජ තෙල් සංස්ථාව සහතික වෙයි. මෙම ගැසලින් පැටවූ වරායේදී මෙන්ම ගොඩ බෑ වරායේදී ඒවා පරීක්ෂාවට භාජනය කළ පරීක්ෂකයන් විසින් ඒවා තත්ත්ව පරාමිතීන්ට අනුකූල බව තහවුරු කර තිබේ. මින් ඉහතදී ලැබුණ පරිවිතයන්ට අනුකූලතාවක් නොදැක් වූ නිෂ්පාදන ඛනිජ තෙල් සංස්ථාව විසින් කිහිප විටකම ප්‍රතික්ෂේප කර ඇති බව එම ආයතනය අවධාරණය කරයි. එමෙන්ම වගකීමෙන් තොරව කටයුතු කළ සැපයුම්කරුවන්ට දඬුවම්ද පමුණුවා ඇත. ගැසලින්වල තත්ත්වය සම්බන්ධයෙන් සංස්ථාවට ලැබී ඇති පැමිණිළිවලට ප්‍රතිචාර දක්වමින්, පාරිභෝගිකයන්ට බෙදා හැරීමට පෙර මෙම නිෂ්පාදන කෙළෙසීමට භාජනවීද යන්න තහවුරු කර ගැනීමට නියැඳී විශ්ලේෂණ කිරීමට පියවර ගනිමින් සිටී.අප රටේ මෝටර් බයිසිකල් මිලියන 2.1 ක් ත්‍රීරෝද රථ 539000 ක් සහ මෝටර් වාහන 410000 ක් තිබේ. වාහන පාවිච්චි කරන අයට සාපේක්ෂව ලැබී ඇති පැමිණිළි සංඛ්‍යාව අල්පය.මෙවැනි පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ හිමියන්ගෙනි. ආනයනය කරන ලද ගැසලින් රට පුරා ඇති ඉන්ධන හල් 1000 කට බෙදා හැර තිබේ. ඉන්ධන පිළිබඳ පැමිණිළි ලැබුණේ ඉන්ධන හල් ඉතා සුළු සංඛ්‍යාවකිනි. මේ නිසා මෙම පැමිණිළි ඛනිජ තෙල් සංස්ථාවෙන් ආනයනය කළ ඛනිජ තෙල්වල තත්ත්වය නිසා ඇති වූ බව ඒත්තු නොයන බව පැහැදිලිය..
NEWS
රජරට කෘෂිකාර්මික සමුපකාර සමිති පවත්නා ගම්මාන 65ක ගොවීන් 1775 ක් සම්බන්ධ කර ගෙන අක්කර 1775 ක නව ක්‍රමයකට පොහොර යොදා වී වගා කිරීමේ නව සැලැස්මක් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.මෙම වැඩපිළිවෙළ යටතේ දැනට යොදන රසායනික පොහොර ප්‍රමාණයෙන් 75 ක්ද ඉදිරියට කාබනික පොහොරද යොදා මෙම කුඹුරු වගා කෙරේ.කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා සෑම ගොවි මහතෙකුටම උදලු තලයක් මුල්ලුවක් සහ පොස්පේට් කිලෝග්‍රෑම් පහක මල්ලක් නොමිලයේ ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.රසායනික පොහොරවලට ඇබ්බැහි වී සිටින ගොවි ජනතාව එයින් මුදා ගෙන කාබනික පොහොර වලට පුරුදු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යෙදු බව පළාත් කෘෂිකර්ම ඇමැති කේ. එච්. නන්දසේන මහතා පැවසීය..
NEWS
ලෝකයේ රටවල් රැසක ආර්ථික අර්බුද පැවතිය ද සංවර්ධනය අතින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 4.1 දක්වා පහත වැටී තිබෙන බව රජය පෙන්වා දෙයි.ඒ අනුව පසුගිය 2013 වසරේ අවසන් කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ අගයක් ගෙන තිබෙන අතර එම කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ කාන්තා විරැකියා අනුපාතය සියයට 6.4ක් බවද පිරිමින්ගේ විරැකියා අනුපාතය සියයට 2.8ක් බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 2013 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිය සියයට 4.6ක අගයක් ගෙන තිබූ බවද එයින් පිරිමින්ගේ විරැකියාව සියයට 3.3ක් සහ කාන්තාවන්ගේ විරැකියාව සියයට 7.0ක අගයක් ගෙන තිබු බවද එම දෙපාර්තුමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.එම වර්ෂයේ අවසානය වනවිට විරැකියාවෙන් සියයට 8.1ක් උසස් පෙළ විභාගයෙන් සමතුන් සහ ඉන් ඉහළ කාණ්ඩයට අයත්වන අතර එයින් පිරිමින් සියයට 5.0ක් සහ කාන්තාවන් සියයට 11.2ක් අයත්වන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිකයන්ගෙන් අවුරුදු 30 වැඩි වයසසේ පසුවන පිරිස සියයට 1.3ක් බව පෙන්වා දෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එයින් සියයට 0.6ක් පිරිමින් බවද සියයට 2.5ක් කාන්තාවන් බවද කියාසිටී.2013 වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.7ක් වූ අතර එයින් සියයට 44.2ක් සේවා අංශයේ නිරත වී සිටි බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. .
NEWS
ඩීසල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ලංකා ඉන්දියානු තෙල් සමාගම ඩීසල් මිල ඉහළ දැමුවද සංස්ථාව එවැනි තීරණයක් ගෙන නැති බවත්, ඉතාම අවම මට්ටමකින් ලංකා ඉන්දියානු තෙල් සමාගම ඩීසල් අලෙවි කරන බවත් වෙළෙඳපළේ 95% ක් ඩීසල් අළෙවි කරන්නේ තමන් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ලංකා ඉන්දියානු තෙල් සමාගම ඩීසල් මිල ඉහළ දැමීමෙන් සාමාන්‍ය ඉන්ධන පාරිභෝගිකයාට බලපෑමක් නොවන බව පවසන සංස්ථාව මෙරට ඩීසල් අවශ්‍යතාව සම්පූර්ණයෙන් සැපයීමට අවශ්‍ය ඩීසල් තොග සංස්ථාව සතුව ඇති බවද අවධාරණය කරයි..
NEWS